Saturday

විද්‍යාත්මක වන්නේ දෙවියන්ගේ පැවත්ම පිළිගැනීමද? නොපිළිගැනීමද?



මින් පෙර නොවූ විරූ තරමටම අප සමාජයේ බටහිර විද්‍යාත්මක යැයි පැවසෙන චින්තනය සහ අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ සම්ප්‍රදායික දෙවියන් පිළිබඳ මතය අතර වන සංවාදය නැවතත් ගොඩනැගෙමින් පවතී.  තමන්ට අවශ්‍ය වන මතවාදය තහවුරු කර ගැනීමට නොහැකි වන සෑම අවස්ථාවකදීම නොයෙක් ආකාරයෙන් මෙම සංකල්ප පිටුපස සැඟවී කරනු ලබන තර්ක විතර්ක කරළියට එනු දක්නට ලැබෙයි. එසේම වාසියක් ඇති විට අවශ්‍ය දෙය විද්‍යාත්මක යයිද තමන්ට වාසියක් නැති විට එයම අවිද්‍යාත්මක යයිද සිතා සංස්කෘතිකමය, ආර්ථිකමය හා සමාජයීය වශයෙන් පිළිගත් සාරධර්ම වටිනාකම් හෙළාදැකීමට බොහෝ පිරිස් යොමුව ඇත. එකම තර්කය එනම් විද්‍යාව යැයි දක්වන දේ විටෙක අවිද්‍යාව ලෙසද  අවිද්‍යාව ලෙස හෙලා දකින දෙයම විද්‍යාව ලෙස අභිසෙස් ලබන අවස්ථා ද සුලබ වෙමින් පවතී. ඇසට පෙනෙන දේ විද්‍යාව බවට තර්ක කරමින් ඇසට නොපෙනෙන දේ අවිද්‍යාව  ලෙස සලකනවා සේම එහි ප්‍රතිවිරුද්ධය ද පිළිගන්නා බව පෙනී යයි. ඊට සාපේක්ෂව ක්ෂණිකව බිහිව ඇති ඊනියා බටහිර විද්‍යාඥයන් ප්‍රමාණයද අතිමහත්ය. ඔවුන්ගේ බටහිර විද්‍යාව කෙරෙහි ඇති කැපවීම, එසේම ඒ සඳහා ඇති ආදරය, බැඳීම සහ ගරුත්වය ද අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බව පෙනේ. දෙවියන්, භූතයින්, යකුන් ආදි අදෘශ්‍යමාන බලවේග පිලිබඳව විශ්වාසය දරන්නන් නොදියුණු ශිෂ්ඨත්වයක් සහිත බවත් බටහිර විද්‍යාත්මක චින්තනය දරන්නන් ශිෂ්ඨත්වයට හිමිකම් දරන බවත් එම නිසාම සමස්ථය එම මතයේ සිටි යුතු බවට මතවාදයක්ද සමාජ ගතව තිබේ.

 මේ සඳහා හොඳ හොඳම උදාහරණ සපයන්නේ වර්තමානයේ බෙහෙවින් කතාබහට ලක්ව ඇති ඖෂධීය පැණි බීමක් සහ සෞඛ්‍ය නිර්දේශකයකට එරෙහිව අධ්‍යාත්මික මතවාදයක් හා බැඳුණු මළමිණී සම්බන්ධව ඇති කරුණු  දැක්වීමකි.


සැබවින්ම මෙය අලුත් තත්ත්වයක් නොවේ බොහෝවිට මෙයට බලපා ඇත්තේ සමාජය සතු වටිනාකම් පිළිබඳ හැඟීම ආචාරධර්ම ආදීන් පිළිගැනීමට ඇති නොහැකියාව වේ. නොදැනුවත් කමටත් වඩා සංස්කෘතිකමය, ආර්ථිකමය හා සමාජයීය සාධක මේ සඳහා බලපාන බව පෙනී යන කරුණකි. යම් දෙයකට ගැරහීම තුලින් ඒ දෙය යටපත් කිරීමට විද්‍යා අවිද්‍යා තර්කය භාවිතා කිරීම පහසු තෝරාගැනීමකි. 

රොබට් හුක් විසින් අන්වීක්ෂ සොයා ගැනීමට පෙර වෙද්‍ය වෘත්තිකයන් ක්ෂුද්‍ර ජීවින් පිළිබඳ දැනුවත් වී සිටියත් දැක තිබුනේ නැත. එසේම ඇසට නොපෙනෙන දෙයක් පිළිබඳව ඇසට දැකීමට හැකි වීමත් සමගම එය විද්‍යාව ලෙස හැඳින්වූයේද නැත. එයට පෙර විද්‍යාව වූයේද ඇසට නොපෙනුන එම දේමය. එකල රෙදි අතරින් මී පැටවුන් බිහිවන බව විශ්වාස කළ යුගයක් ද විය. එයත් විද්‍යාත්මක විය.

 මේ ආකාරයට අනාගතයේ දිනක ශරීරය තුලට කටුවක් මගින් ඖෂධයක් ඇතුළු කිරීම අවිද්‍යාව සේ දැකීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ කාලය ගතවීම පමණි. ඉතිහාසය හැදෑරීමේ දී මේ සම්බන්ධ අවශ්‍ය තරම් සාක්ෂි දැකගත හැකිය. ද්විකෝටීක තර්කය පදනම් වූ අපෝහකයෙන් වටිනාකම් සඳහා අගයක් නියම කල නොහැක. විය යුත්තේ හැදෑරීමය. අන්‍යයනට ගරු කිරීමය. අන්‍ය මත ඉවසීමය. තමන් අත් දකින දේ පමණක් නිවැරැදි සේ තහවුරු කිරීමට යාම යුක්ති සහගත නොවේ.

සැලකිය යුතු කරුණ වන්නේ ස්වභාවික හා ව්‍යවහාරික විද්‍යාවන් යනු අදෘශමාන බලවේගයන් එනම් දෙවියන් යකුන් ප්‍රේතයන් වැනි දේ පිළිබඳ විශ්වාස නොකිරීම මතින් බිහි වූවක් නොවන බවකි. ඒ සඳහා ගොඩ නැගෙන තර්කය වන්නේ වර්තමානයේ ඇති රසායන විද්‍යාව වෛද්‍ය විද්‍යාව හෝ භෞතික විද්‍යාව ආදි විද්‍යාවන් හුදෙක් විද්‍යාවන් වන අතර සියයට සියයක්ම අදෘශ්‍යමාන බලවේගයන් හෙවත් දෙවියන් ප්‍රතික්ෂේප  කොට ඇත  යන්නයි.

එහෙත් සිදුව ඇත්තේ එය නොවේ.

ගතවූ දශකයේ එනම් 1901 සහ 2000 අතර කාලය තුල නොබෙල් ත්‍යාග අතරින් සැලකිය යුතු  ප්‍රමානයක් , එනම් ප්‍රතිශතයක් වශයෙන්, කිතුනුවන් සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගවලින් 78.3% ක්, රසායන විද්‍යාවෙන් 72.5% ක්, භෞතික විද්‍යාවෙන් 65.3% ක්, වෛද්‍ය විද්‍යාව 62% ක්, ආර්ථික විද්‍යාව 54% ක් සහ සියලුම සාහිත්‍ය සම්මාන වලින් 49.5% ක් දිනා ඇත්තේ දෙවියන් වහන්සේගේ පැවත්ම පිළිගත් කිතුනු භක්තිකයින් විසිනි.‍

  ඔවුන් පුරෝගාමි විද්‍යාඥයන් වූවා සේම දෙවියන් වහන්සේ ද විශ්වාස කලහ.

 තවද මෙම අංශ දෙකෙහිම ඇති දැනුම මනාසේ අවබෝධ කරගත් අය සේ දැකිය හැකිය.

වරක් සී. එස්. ලුවිස් විසින් එය මනාව පැහැදිලි කරනු ලැබීය. මිනිසුන් විද්‍යාත්මක බවට පත්වූයේ ඔවුන් ස්වභාවධර්මයේ නීතිය අපේක්ෂා කළ නිසාත්, ඔවුන් ව්‍යවස්ථාදායකයෙකු විශ්වාස කළ නිසාත් සොබාදහමේ නීතිය අපේක්ෂා කළ නිසාත්ය.යනුවෙනි.

නූතන ලෝකය විද්‍යාත්මක ක්‍රමයේ විප්ලවයක ප්‍රතිපලයක් සේ දැක්වෙයි. විද්‍යාවේ වන පරීක්ෂණ සහ ‌ෙඑතිහාසික සාක්ෂි පදනම් වූ මූලාශ්‍ර උපුටා දැක්වීම යන දෙකම පැන නගින්නේ ජෙරුසලමේ සිට යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් ගේ ලෝක දෘෂ්ටියෙන් මිස ඇතන්ස් හෝ ග්‍රීකයන්ගෙන් වෙතින් නොවේ .

නූතන විද්‍යාව බිහි වූ බුද්ධිමය භූ දර්ශනයට ක්‍රිස්තියානි චින්තනය බලපෑම් කළ ආකාරය සැකසීමේදී පීටර් හැරිසන් වැනි මෑත ඉතිහාසයේ ඉතිහාසඥයින් වඩාත් සූක්ෂම ය. ඒ පිබඳව ඔහුගේ සඳහන මෙසේය. “දෙවියන් කෙරෙහි වූ විශ්වාසය නූතන විද්‍යාවේ නැගීමට බාධාවක් නොව වාහකයක් විය. එබැවින් විද්‍යාඥයෙකු හා කිතුනුවකු වීම මට ලැජ්ජාවක් නොව වරප්‍රසාදයක් හා ගෞරවයක් ලෙස සලකමි.

ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම විද්‍යාඥයින්ගේ විශ්වාසයන් පිළිබඳ ප්‍රචලිත උදාහරණ කිහිපයක් මෙසේය. ග්‍රහලෝක චලිතයේ නීති සොයාගත් ජොහැන්නස් කෙප්ලර් (1571-1630) මෙසේ ලිවීය.

“බාහිර ලෝකයේ සියලු විමර්ශනවල ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ දෙවියන් වහන්සේ විසින් පනවා ඇති තාර්කික පිළිවෙල සහ ඔහු ගණිත භාෂාවෙන් අපට හෙළි කළ තාර්කික පිළිවෙල සොයා ගැනීමයි. ”කෙප්ලර් වෙනත් තැනක ඔහුගේ ක්‍රිස්තියානි විශ්වාසයන්හි ගැඹුර හෙළි කළ හෙයින් මෙය හුදු දේවවාදයේ ප්‍රකාශයක් නොවීය. මම විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ සේවය ගැන පමණක්මයි. ඔහු තුළ සියලු රැකවරණය හා සැනසිල්ල ඇත.  

මයිකල් ෆැරඩේ (1791-1867), ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු වූවා සේම, දෙවියන් වහන්සේ තදින්ම විශ්වාස කල අයෙකි. ඔහු මරණ මංචකයේ වැතිර සිටින විට වෙනත් විද්‍යාඥයෙකු විසින් මෙසේ ඇසුවේය.

 සර් මයිකල්, ඔබට තවත් ඉතිරිව ඇති උපකල්පන මොනවාද?” විද්‍යාත්මක විෂයයන් රාශියක් ගැන උපකල්පන  කරමින්, සමහරක් ඉවතලමින් සහ තවත් සමහරක් ස්ථාපිත කළ විද්‍යාඥයෙකු වශයෙන් ඔහුගේ ප්‍රතිචාරය වූයේ , “උපකල්පන කිසිවක් නැත! මට නිශ්චිතභාවයන් ඇත. මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි.  යනුවෙනි.

ගැලීලියෝ සම්බන්ධයෙන්ද මෙවැනිම සිදුවීම් රාශියක් ද දැකිය හැකිය.

විද්‍යාත්මක පරීක්ෂණ නිසා ගැලීලියෝ හට පල්ලියෙන් පීඩා  සිදු කළ බවට අප සමාජයේ ප්‍රචලිතය. බොහෝ දෙනා පවසන පරිදි පල්ලියට එරෙහිවීම ගැලලියෝහට මෙසේ පීඩා වීමට හේතු විය. එහෙත් ගැලිලියෝ පිළිබඳව නිකුත්ව ඇති පරීක්ෂණාත්මක තොරතුරු අනුව පැහැදිලි වන්නේ ගැලීලියෝ සැබවින්ම දෙවියන් වහන්සේ හා බයිබලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ක්‍රියාත්මක  වී ඇති බවත් ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම එය  පැවතුණ බවත්ය. ඔහු වරක් පැවසුවේ සොබාදහමේ නියමයන් ගණිත භාෂාවෙන් දෙවියන් වහන්සේගේ අතින් ලියා ඇතිබවත් මිනිස් මනස දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් වන අතර වඩාත්ම විශිෂ්ට එකක්බවත් ය.

 නූතන විද්‍යාව දියුණු කිරීමේ අභිලාෂයෙන් ගැලීලියෝට අවශ්‍ය වූයේ විශ්වයේ න්‍යායන් සාක්ෂි මත පදනම්ව තීරණය කිරීමට මිස පාලක න්‍යායන් මත පදනම් වූ තර්කයන් එලිදැක්විම මත නොවේ. ගැලීලියෝ සිය දුරේක්ෂය හරහා විශ්වය දෙස බැලූ අතර එහිදී ඇරිස්ටෝටල්ගේ ප්‍රධාන තාරකා විද්‍යාත්මක සමපේක්ෂන කිහිපයක්ම නිරීක්ෂණය කිරීමට සමත් විය. 1604 දී ගැලීලියෝ සුපර්නෝවක් දුටුවේය, එය අහස නොවෙනස්ව පවතින බවට ඇරිස්ටෝටල්ගේ මතය ප්‍රශ්න කළේය.

එම සියල්ල ද සමග උකහා ගත යුතු ප්‍රධාන පාඩම නම්, බයිබලානුකුල ලෝක දෘෂ්ටිය විශ්වාස කළ ගැලීලියෝ, විශ්වය පිළිබඳ වඩා හොඳ විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට උත්සහ කල බවත් අද මෙන්ම විවිධ ශාස්ත්‍රීය ගුරුකුලයන් සමහර ප්‍රාථමික හේතුමත ඔහුට විරුද්ධව ක්‍රියා කල බවත් ය.

 අද වන විටද දාර්ශනිකයන්ට හා විද්‍යාඥයන්ට  කිසිවෙක් විසින් යම්කිසි සංඥාමය නොවන බලවේග පිළිබඳ කරුණු ඉදිරිපත් කල විට,  එම කරුණු සැලකිල්ලට ගැනීමට තරම් නිහතමානි කමක් නොමැති වීම පමණක් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මූලිකම හේතුව බව පෙනේ. කිසිසේත්ම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නොමැතිකම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවාට වඩා විද්‍යාත්මක බව සහතික කිරීමක් නොවේ. ගැලීලියෝගේ කාලය සහ අපේ කාලය තුළ පැහැදිලිව පෙනෙන දෙය නම්, අධිකාරි වාදි මතවාදයන් විවේචනය කිරීම හෝ එයට විකල්ප සෙවීම අවදානම් සහගත වන බවය. එහි කවුරුන් සම්බන්ධ වී සිටියත්, එය පසුගාමී ධනේශ්වර පාලක තන්ත්‍රය යටතේ ජීවත්වෙන සියල්ලෝම අත්කරගත් දෙයකි.

තමන්ගේ නොදැනුවත්කම නිසා තම මනසට ගෝචර නොවන දැනුම් පද්ධතියට අදාල නොවන දෙයක්  හෙලාදැකීම විද්‍යාව යැයි යමෙකු දකින්නේ නම් ඔහු දන්නා විද්‍යාවක් නැත. අවසාන වශයෙන් ඔහු හෝ ඇය දන්නා සාරධර්ම හෝ වටිනාකමකුත් නැත. ඒ බව ඔහුට අවබෝධ වන්නේ ද නැත.

No comments: