Friday

දහසය වසරක් සපුරන ඌව ගුවන් විදුලියට සුබ පතමි


දහසය වසරක් සපුරන ඌව ගුවන් විදුලියට සුබ පතමි. ආඩම්බර  වෙමි. කුමන ආකාරයේ හෝ මාධ්‍ය මෙහෙවරක් දහසය වසරක් පුරා පැවතීම ආශ්චර්යයක් නොවුනත් ඌව ගුවන් විදුලිය වැනි ආයතනයක් මේ සා දුර පැමිණිම පිටුපස නම් ඇත්තේ මේ දක්වා මෙම සාර්ථකත්වයට උරදුන් සහ දැනටත් උරදෙමින් සිටින පිරිසකගේ වාසනාවට වඩා උත්සහය, කැපවීම, අධිෂ්ඨානය මෙන්ම ධෛර්යය ආදි ගුණාංගයන්ම බව සෘජුවම ප්‍රකාශ කල හැකිය.


     සැබවින්ම ඌවට ගුවන් විදුලියක් ලබා ගැනීමෙ අවශ්‍යතාවය ප්‍රායෝගිකවම ඇති වන්නේ වසර විස්සකට, විසි දෙකකට පෙර සිටය. ඒ මහැවැලි ප්‍රජා ගුවන් විදුලි විකාශයන්ට අමතරව ඌව පලාතේ ශ්‍රාවක අවශ්‍යතාවය හැකි පමණින් ඉටු කරමින් සිටි මහනුවර සේවා (දැන් කඳුරට සේවය)  විකාශයන් අක්‍රිය වීමෙන් පසුවය.  ඒ ඌව පලාත පමණක් නොව මධ්‍යම හා නැගෙනහිර පලාත්වල සමහර ප්‍රදේශයන්ද , දකුණු හා සබරගමු පලාතද  ආවරණය කරමින් පැවති කිලෝහර්ට්ස් 531 හා 648 ඔස්සේ අඹේවෙල සිට  ක්‍රියාත්මක වූ ජාතික ගුවන් විදුලි මධ්‍යම තරංග විකාශයන් නවතා දැමීම නිසාය. තරංග මාලාව හෝ විකාශනාගාරය ගැන අවබෝධය කෙසේ වුවද බදුල්ල, බණ්ඩාරවෙල, වැල්ලවාය, බිබිල ආදි ප්‍රදේශවල ශ්‍රාවකයන් උදෑසන පහට පිරිත් අසන්නට, ආගමික නිවේදන අසන්නට, මරණ දැන්වීම් හා ප්‍රවෘත්ති අසන්නට කරකවා ගත්තේ මේ මීටර දෙකය. බදුල්ලේ ඉපිද එහිම හැදී වැඩුනු මගේ ද  ජීවිතය හා  බැඳී තිබු විද්‍යුත් නාලිකාව වූයේ මෙම 531 හා 648 යන මීටර් දෙකය. අදාල අංකයන් කෙසේ වුවත් ගුවන් විදුලි මාධ්‍ය සමග බැඳුනු මා හා සමගාමිව ජීවත් වූ සියල්ල සඳහාම එය එසේ වූ බව මම දනිමි. පසු කලෙක ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් පසු මෙම විකාශනාගාරයේ සේවය කිරීමට අවස්ථාවක් ලැබුනු අතර එහිදි මගේ නිවසේ ගුවන් විදුලියෙන් ඇසෙන්නේ මාවිසින් විකාශය කරන පිරිත් බව මා හිතවතුන් සමග කී බවද මතකය.


     531 මීටරය අක්‍රිය වීමෙන් වඩාත්ම අසාධාරනයට ලක්වූ පිරිස වූයේ මහනුවර සේවා දෙමල භාෂා විකාශයන් අසන්නට පුරුදුව සිටි අසන්නන්ය. විශේෂයෙන් ම වතුකරයේ කඳු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්ට මධ්‍යම තරංග විකාශයන් යහපත් ශ්‍රවන තත්වයක් ලබා දෙන්නට සමත් විය. සෑම සතියේ දිනකම සවස 6.30 ට ආරම්භ වන දෙමල මාධ්‍ය වැඩසටහන් ගෙදර දොර, කඩපිලේ, වැඩපොලේ,  මහමගේ අනිවාර්යය අංගයක් බවට පත්ව තිබුනි.
  


    තමන්ගේ මෙම අයිතිවාසිකම අහිමි වීම නිසා ප්‍රජාව තුල කතිකාවතක් මතු වන්නට වූයේ එය හුදෙක් අයිතිවාසිකමක් අහිමි වූ ආකාරයෙන් නොවේ.  දුන් දෙයක් නැවත ගත් ආකාරයක ආකල්පයකිනි. එය ඉල්ලීමක් ලෙස ප්‍රාදේශීය නායකයන් එනම් දේශපාලකයින් වෙතටද යොමුව තිබුනි. එහෙත් සමහර ආකල්ප හා ප්‍රායෝගික හේතූන් නිසා ඒ, මේ ඉඩක් විවර ව ඇත්තේ තම ප්‍රාදේශීය සන්නිවේදන අවශ්‍යතාව සපුරා ගැනීමේ අවස්තාවක්,  ලෙස සලකා ඇතිවූ අවබෝධයකින් නොවේ. 
 එසේ අවබෝධය තිබුනත් සමාජීය, තාක්ෂණික, මූල්‍යමය හා දේශපාලනමය  අභියෝග ඉතාමත් ප්‍රභල විය. එක්තරා අවස්ථාවක දී මෙම සියළු අභියෝගයන් හමුවේ ප්‍රජා නායකත්වයකට ඌව ගුවන් විදුලිය සඳහා යෝජනාවක් ගෙන යාමට අවස්තාවක් ලැබේ. මෙහිදී අදාල මූලික යෝජනාව සකස්කරනු ලබන්නේ මා විසිනි. ඒ හුදෙක් ජාතික ගුවන්විදුලියේ සේවකයෙකු නොව ඌව පලාත් වාසියෙකු ලෙසය. එහිදී ඇතිවූ සම්මුඛ සාකච්ඡා වලට තිත තැබෙන්නේ සුපුරුදු පරිදි නිලධාරි වාදය නිසාය. කොළඹ නිලධාරින් ගේ තීරණ අවසන් තීරණ යන් වේ.
    මෙයින් ගම්‍ය වූයේ මෙම නිලධාරිවාදි තිත ඉවත් නොකරනතාක් කල් ප්‍රජා හේ ප්‍රාදේශිය ගුවන් විදුලියකට කිසිසේත්ම ඉඩක් නොමැති බවය. ඉඩක් ලැබීම කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවකි. එවකට (දැනට ඇති තත්වය මම නොදනිමී) ශ්‍රී ලංකාව තුල ප්‍රභලම හා වටිනාම සන්නිවේදන විකාශනාගාර පද්ධතිය වන ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නායබැද්ද (හපුතලේ) විකාශනාගාරය ආරම්භ වන්නේ මේ අතරය.  ලිප්ටන් සීට් ශිකරයද පසුකර තව දුරටත් ගිර මුදුනටම වන්නට ඉදි වූ විකාශනාගාරය ජාතික ගුවන් විදුලියේ පමණක් නොව ඌව පලාතේම වත්කමකි. එය ඒ තත්වයට පත් කිරීමට කැපවූ පිරිස අතිමහත්ය. අවම පහසුකම් වලින් යුක්තව පමණක් නොව කිසිදු පහසුකමක් නොමතිව ද ස්වභාව ධර්මයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් වසර කිහිපයක්  අසීරු මාවත් ඔස්සේද මාවත් තනා ගනිමින්ද පා ගමනින්ද ආරම්භයේ සිටම නායබැද්ද කඳු තරණයට මාද සහභාගි වූ බව පවසන්නේ හද පිරි සතුටිනි.

    අවසානයේ ඌව පලාතට විකාශනාගාරයක් ලැබුනි. අසීරුම ඉලක්කය වන සංඛ්‍යතය හා නඩත්තුව පිලිබඳ වගකීමෙන් නිදහස් විය. අවශ්‍යව තිබු ප්‍රභල දේශපාලන නායකත්වය ලැබීමත් සමග නිලධාරි බලපෑම් නිශ්ක්‍රිය වන්නට විය. ඒ සමගම ඇතිවු අනෙකුත් විභවයන් විසින් ඌව ගුවන් විදුලි සංකල්පය තහවුරු විය. උතුරු කැබිල්ලේවෙල බිම් කඩක සිට නයබැද්ද විකශනාගාරය දක්වා නිර්බාධක දෘශ්ඨි පථය ද සාර්ථකව අත් හදා බැලිනි.

   මා විදේශ ගත වීම සඳහා ගුවන් විදුලියෙන් ඉවත් වන්නේ මේ අතරය. ටොෆෙල් ආදි විභාග හේතුවෙන් තරමක් කාර්යබහුලව සිටි මා හමුවීමට අමුත්තෙක් පැමිණි බව මගේ මව පවසා සිටියත් පැමිනි අමුත්තාගේ නම ඇයට මතක් වූයේ නැත. නමුත් පසු දිනද ඔහු බදුල්ලේ මා නිවසට පැමිනි අතර මම ඔහු හඳුනා ගතිමි. ඒ තිලක් ජයරත්න යන්ය. ඌව ගුවන් විදුලියේ යාවත්කාලීන වීම් ගැන මා හට අවබෝධයක් නොතිබූ අතර ඒ පිළිබඳ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඌව ගුවන් විදුලියේ තාක්ෂණික කටයුතු සඳහා සහභාගි වන ලෙසද ආරාධනා කලේය. නැවතත් මා ඌව ගුවන්විදුලියේ කටයුතු වලට සම්බන්ධ වූයේ එලෙසිනි.
    අප මාධ්‍ය ලෝකයේ වීරයෙක් වූ තිලක් ජයරත්නයන් සමග කටයුතු කිරීම මාධ්‍ය විශයයෙන් කරන උපාධි අධ්‍යයනයක් වැනිය. විටෙක දැඩි වාද විවාදයන් ඇති වූවා වුවද ඒ සෑම දෙයකින්ම ලැබූ දේ අතිමහත්ය. සමහර තාක්ෂණික කරුනු පැහැදිලි කිරීමේදි මා කැමත්තෙන් පරාජය පිළිගත් අවස්ථා ද විය. ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි ආකෘති පිලිබඳ තර්කයද ඒ අතර විය. සමහර දේ  කාලය විසින් විසඳීමේ න්‍යායය අනුව ඌව ගුවන් විදුලිය  සඳහා සාර්ථක පදනම වැටුනේ එසේය. එහෙත් ඒ සමගම සිදුවූ දේශපාලන වෙනස්කම් නිසා නැවතත් ඌව ගුවන් විදුලියේ පිලිබඳ අවිනිශ්චිත තත්වයක් ඇති විය. දේශපාලන බලාධිකාරය සමග පැවැති අවබෝධාත්මක සබඳතා නිසා  ඒ දක්වා පැවති තත්වයන් සම්පූර්ණයෙන් යටපත් වූයේ නැත. ඉන් පසුව සිදු වූ දේවල් සියල්ලෝම පාහේ දනිති.


    කෙසේ වුවද ඌව ගුවන් විදුලිය ආරම්භ වන්නේ මා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින විටදීය. මා හට ඌව ගුවන් විදුලිය ශ්‍රවනය කිරීමට අවස්ථාවක් ලැබී නැත. දැනට කැනඩාවේ ප්‍රජා ගුවන් විදුලියක ප්‍රායෝගිකව සමබන්ධව සිටින මට ප්‍රජා ගුවන් විදුලි ආකෘතිය පිලිබඳ අවබෝධ වේ. එහි වෙනස් කම් මා සන්සන්දනය කරන්නේ මා අත්විඳ ඇති කිලෝහර්ට්ස් 531 ඔස්සේ අඹේවෙල සිට  ක්‍රියාත්මක වූ ජාතික ගුවන් විදුලි මහනුවර සේවා මධ්‍යම තරංග ප්‍රාදේශිය විකාශය සමග මිසක් ඌව ගුවන් විදුලිය සමග නොවේ. ඌව ගුවන් විදුලියේ දිගු ගමනකට සුබ පතමි.

- Photos: Torben Brant, UNDP Media Advisor @ Haptale (Nayabadda) SLBC Tx station

1 comment:

නදීකා said...

සුබපැතුම්