Showing posts with label Independent. Show all posts
Showing posts with label Independent. Show all posts

Thursday

නිදහස පිළිබඳ සංසන්දනාත්මක ඇගැයීමක් -අශෝක හඳගම



64 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැත්වූ උත්සවයේ දී පැවැත්වූ දේශනය
සම්ප්‍රදායක් විදියට අපි හැම පෙබරවාරි 04 වෙනි දා ව ක ම මහ බැංකු පරිශ්‍රයට ඇවිත්, නිදහස් උත්සවය ජාතික නිදහස් උත්සවයට සමගාමීව චාම් ව පවත්වනවා. අප අතරින් කවුරුහරි තෝරාගත් කෙනෙක්, නිදහස නිමිති කරගන අදහස් දැක්වීමක් කරනවා. මෙය හොඳ පුරුද්දක්. නිදහස අරමුණු කරගන පැයක් දෙකක් හෝ ප්‍රයෝජනත්ව ගත කරන්න එය අවකාශයක් සලසනවා.
නිදහස තරම් මනුෂ්‍යයා අගය කරන මනුෂ්‍යයාට වුවමනා කරන තවත් දෙයක් නැහැ. මිනිසුන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතය වුව ද පූජා කරන්නේ ඒ නිසා. ඒත් මනුෂ්‍යත්වය අර්ථ දැක්වෙන්නේ නිදහසත් ඊට එරෙහි ව තහනමත් සමඟයි. මේ නිදහසේ සහ තහනමේ සීමාවන් විසිනුයි රටක සංස්කෘතිය සලකුණු කරන්නේ.
දරුවකු මවුකුසින් බිහිවුනු පමණින්, ඒ දරුවා මවගේ ශරීරයෙන් ගැලවෙන්නෙ නැහැ. දරුවා මවගේ ශරීරයෙන් ගලවා සමාජයට ඇතුළත් කරන්නේ ‘තහංචිය’ විසින්. දරුවකු ‘ගැහැණු’, ‘පිරිමි’ බව ලබන්නේ ලිංගේන්ද්‍රියන්ගේ වෙනස නිසා ම නොවෙයි. ‘නිදහස’ සහ ‘තහනම’ විසින් ලකුණු කෙරෙන අර්ථදැක්වීම්වල වෙනස නිසා. මේ වෙනස හරියට අර්ථදැක්වුනේ නැති ඔලුවල ලිංගික ව්‍යාකූලත්වය ඇතිවෙනවා. පෙරදිග ගැහැණියක්, අපරදිග ගැහැණියකගෙන් වෙනස් වෙන්නේ තහංචියේ සහ නිදහසේ සීමාවන්වල වෙනස නිසා.
මන්නාරම කෝනේශ්වරම් කෝවිලේ කාලි මෑණියන්ගේ පූජාවට කුකුල්ලු, එළුවෝ මරණ එකට බෞද්ධ අපි විරුද්ධ එය බෞද්ධ පිළිවෙතට අනුව තහනමක් නිසා. එහෙත් දරුවන් නැති අයට දරුවන් ලබාදෙන, ලෙඩ රෝග සුවකරන බලයක් කාලි අම්මාට ඇතැයි විශ්වාස කරන බැතිමත් පූජාවකට එසේ සතුන් ඝාතනය කිරීම පූජාවක්. එම බැතිමතුන්ගේ අඩවියට බලහත්කාරයෙන් ඇතුලු ව සතුන් මුදාගැනීම බෞද්ධ අපට වීරකමක්. ඒත් ඒක ම ඒ බැතිමත් ප්‍රජාවට කරන හතුරුකමක්.