Sunday

සාහිත්ය කලාවට නිවුන් සහෝදරයෙකුගෙන් පාඩම්-නිශ්ශංක විජේමාන්න


ලොව පවත්නා සෑම දෙයක්ම ගතිකත්වයට භාජනය වන බව අපි දනිමු. එය යුගයෙන් යුගය, සියවසෙන් සියවස මතු නොව ආගමින් ආගමට දේශපාලනයෙන් දේශපාලනයට භූ ගෝලීය පරිසරයෙන් පරිසරයට ආදි වශයෙන් විසල් සාධක රැසක් හරහා සිදු වන්නකි.

කලාවටද එය පොදු දහමකි.

මෙසේ සිදු වන්නා වූ වෙනස් වීම් නිහ්චිත වශයෙන් ම දැකගත හැකි දෘශ්‍යමාන, චමත්කාරජනක දෑ අතරින් එක් සාක්ෂියන් නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් අප අත් විඳින චිත්‍ර කලාවය.

ගල් යුගයේ පටන් නූතන යුගය දක්වා අප දකින විශ්මය ජනක අනුස්මරණීය චිත්‍ර නිර්මාණ සමුදාය  එකිනෙක පෙළගස්වා පෙන්වීම අපගේ අරමුණ නොවේ. තව දුරටත් මේ සියවසේ වහ වහා වෙනස් වීම් වලට භාජනය වෙමින් වඩා සුසංවේදී ගුණයක් පාමින් මානව චින්තනය පුළුල් කරන මේ කලාව තුලින් අද්‍යතන සාහිත්‍ය කලාවට උකහා ගත හැකි පාඩම් කවරේදැයි සොයා බැලීමයි.

එසේ කතා කිරීමට මේ මානය වැදගත් වේද ? නූතන ලාංකීය චිත්‍ර කලාව සාහිත්‍යයට වඩා ඉදිරියෙන්ද යන්න පිලිබඳ ප්‍රශ්න අප ඉදිරියේ නැගෙනු ඇත.

ඇත්ත වශයෙන්ම අපට කිමට ඇත්තේ අගනුවර ‍කේන්ද්‍රයෙන් විසරණය වන මේ කලාවන් ද්වයෙන් වඩා පර්යෙක්ෂණත්මක තත්වයක් ඇත්තේ චිත්‍ර කලාව බවය. වඩා ගතානුගතිකත්වයට ගොදුරු  වී ඇත්තේද එයම බවය.

අවාසනාවට මේ කලාවන් ද්වයම අගනුවරින් බැහැර පරිධීන්ට යනවිට ශක්තීන් පිරිහුණු ඇල් මැරුණ ස්වභාවයට පත්වන බවද පැහැදිලිය.

කෙසේ වුවද ලෝක චිත්‍ර කලාවේද , ලාංකීය චිත්‍ර කලාවේ ද මේ ප්‍රවනතා දැක් වීමේ සාධක ද සාහිත්‍යයේ ගැලෙන අප රසික විචාරක හා නිර්මාපක සියළු දෙනා ප්‍රයෝජනය ගත යුතුවේ.

15 වන සියවසෙන් ආරම්භ වන පුනරුද සමයේ දී කලා කරුවා තව දුරටත් කම්කරුවකු නොව බුද්ධිමය කාර්යයන් කරන්නෙක් බෞතීස්ම කලේය. එතැනින් ඇරඹෙන්නා වූ කලාව විසින් ලෝකයට අති විශාල චිත්‍ර කලා ශිල්පීන් රැසක් තිලිණ කලේය. වසර හාර සියයක් පමණ කාලයක් තිස්සේ  ඒකාකාරීව ආ මේ චිත්ර කලාව ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රයේ දී දැඩි මත වාදී, අනුලංගනීය රීති සහිත කලවක් වශයෙන් පෙනී සිටියේය.

19 වන සියවස අග දී ආලොකානුවාදී නම් චිත්‍ර කණ්ඩායම මේ මතවාද සුණු විසුනු කර දැම්මේය. ඔවුහු ආයතනික චිත්‍ර අධ්‍යපනයේ අඳුරට සාප කරමින් ආලෝකය දැල් වූහ. කැන්වසය චිත්‍රාගාරයෙන් එළියට ගෙන අඳින්නට ගත්තෝය. සුරගනන් වෙනුවට වීදිබට ලියන් ඇන්දෝය. මෘදු පිරිමදින සුළු පාට කිරීම් අත් හැර වේගවත් පින්සල් පහරවල් චිත්‍රය පුරා පතුරවන්නට වූහ.මේ සියල්ලෙන්ම ඔවුන් ඉල්වූයේ  කලාව මතුපිටින් නොව වඩාත් ඇතුලතින් ප්‍රකාශ වන්නක් කරගත යුතු බවය.

මේ සියවස මුල දි මෙම ප්‍රකාශන විදික්‍රම තවත් අතික්‍රමණයට භාජනය විය. පැබ්ලෝ පිකාසෝ නම් තරුණ චිත්‍ර ශිල්පියා අවිග්නෝත්හි යුවතියෝ නම් චිත්‍රය අඳිමින් විසිවන ශත වර්ෂයේ අධ්‍යාත්මික නිර්වස්ත්‍ර බාවයත් දුක්ඛිත බාවයත් හෙලි කරන විට මේ විරූප හැඩති යුවතියන් නූතන මොනාලිසාවන් යැයි විචාරකයෝ පැවසූහ.

සෑම විටම මෙම විප්ලව වාදීන් ප්‍රශංසාවට වඩා නින්දා අභියෝග වලට භාජනය විය. ඔවුන් අතර සිටි හෙන්රි මෙතියස් නම් ප්‍රකට චිත්‍ර ශිල්පියා ගේ ප්‍රකාශන කලාව මෘගවාදී  කලාවක් යැයි විවේචනයට භාජනය විය.

ඔවුහු නොසැළුනෝය

වත්මන් තාත්වික ලෝකය ධනේෂ්වරය විසින් නිර්මාණය කර ඇති බව කී සැල්වදෝර් ඩාලි නම් ශිල්පියා කලාවද ඊට බිලිගෙන ඇති බව කියමින් කලවේ පුරුෂාර්ථ අභියෝගයට ලක් කලේය. වසිලි කැනඩිස්කි නම් වූ චිත්‍ර ශිල්පියා දෘශ්‍යමාන රූප  වෙනුවට මිනිස් සිතේ නිදන් ගතව ඇති වියුක්ත රූප කැන්වසය මත ප්‍රතිනිර්මාණය කළේය.

ජෝර්ජ් කීට් නැගී සිටිමින් නූතන චිත්‍ර කලාව පෙර දිග දී මෙසේ යැයි ඇගයීමෙන් ලංකාවට විශ්ව කීර්තියක් අත් කර  දීමට සමත් විය.

තවදුරටත් චිත්‍ර කලා පාසල් ගුරු කුල හෝ පරම්පරා නැති බව ප්‍රකාශ කල පැබ්ලෝ පිකාසෝ චිත්‍ර ශිල්පය සාම්ප්‍රදායික මුද්‍රවෙන් මුදා ස්වීයත්වයක් ලබා දීමට මග පාදා දුන්නේය. 43 වැනි කන්ඩායමේ පටන් පාලිත ජනරංජන,  ඉන්ද්‍රනාථ තේනුවර, ජගත් වීරසිංහ ඇතුළු තරුණ පරම්පරාව නියෝජනය කරන ශිල්පීන් ප්‍රකාශයට පත් කරන්නේ එකී  ස්වීයත්වයයි. ආත්මීය ප්‍රකාශනයයි. නිබයබවයි.

නූතන ලාංකීය සාහිත්‍ය කරුවාට එවැනි ඉඩ හසරක් හෝ දී තිබේද ? අප නිර්මාණ විචාරයට ලක් කරන්නේ සම්ප්‍රදායික මිණුම් ද‍ඬු වලින්ම නොවේද ? ආකෘතිය මිස අන්තර්ගතයක් නැත. සුදුසු ලේඛන වහරකින් ලියා නැත. එක දිගට කියවා ගෙන යාමට මිහිරක් නැත. කෘතිය කුඩාය. ආදී දේ පිලිබඳ බොහෝ දොස්ය. මේ කියමන් සාවද්‍ය නොවේ. වැරදීම ඇත්තේ එතැන නොවේ.  උයනට වදින ඔටුවන් සේ කටු ඉපල්ම බුදින අප මල් සම්පත හඳුනා නොගැනීමයි. එක් විචාරකයෙක් කවි පොතක් ගැන සඳහන් කරමින් එහි සියළුම කවි පුල්ස්කැප් කොලයකට ගත හැකි යැයි ප්‍රමානාත්මක තක්සේරුවක් කලේය.මෙවන් වගපලයක් ජපන් හයිකු කවියා ඇසුවේ නම් අපට කිසි දිනක හයිකු කවි රස විඳින්නට නොහැකි වනු ඇත. මෝගල් ශිල්පියා කිසිදාක ක්ෂුද්‍ර චිත්‍ර නො අඳිනු ඇත.

සාහිත්‍ය චිත්‍ර තුල වර්ණ රේඛා සහ ආකෘතිය කෙලෙසද යන්න තීරණය කල යුත්තේ ලේඛකයාමය. වස්තු විෂයය තෝරා ගත යුත්තේ ද ඔහුමය.

කේන්ද්‍රෙයන් පරිධියට පැමිණෙන විට වඩා ගතානුගතික විත්‍ර කලවේ අවස්තා දෙකකින් සාහිත්‍ය පාඩම් ඉගෙන ගත හැකිය.

විහාර කර්මාන්ත හරහා පැතිර යන චිත්‍ර කලාව එක් අවස්ථාවකි. අනික පාසල් ව්‍යුහය තුල පැන නගින චිත්‍ර කලාවය. මේ දෙතැනම නව මං නොසොයයි. අධිකාරි බවින් පිරිලාය. සම්ප්‍රදායට එදිරි වන්නට බයය. බුද්ධිමය සංවාදයෙන් තොරය.

ලාංකික සාහිතය කලාව ඇත්තේද මීට යාබද ඉඩමේය.

අප කියවූ පාහරයා කෙටි කථා සංග්‍රහය ඉහත කල්පනා සිහි කැඳවන්න නිමිත්ත දුන්නේය. පවත්නා සම්මතයෙන් වෙන්ව එය නොරිදා අතික්‍රමණය කරන අයුරු මේ කථා තුලින් අපට පෙනේ. එය පරීක්ෂණාත්මක ප්‍රවිශ්ඨයකි. නාට්‍ය කරුවෙක් වන ඔහුගේ කථා මත එකම කලාවේ රිද්ම ලක්ෂණ මුසුව ඇත. ජීවිතය ගැන ඔහු හෙලන බැල්ම රසික අපගේ භාවයන් ප්‍රකෝප නොකරයි. වඩා සංවේදී වත් පුළුල්වත් බලන්නට ඇස අරවයි. විරාජ් ලා අවදි වී ඔවුන් ගේ පියාපත් වලින් මේ දිවයින හරහා මහද්වීපයට පියඹා යනු දැක්ම  අපේ පැතුමයි.

No comments: