බදුළු මතකය


වන්දිය


යලත් මහත් එක හුස්මට මඩ කෙරුව
පරම්පරාවක බර සිරසින් ගෙන දැරුව
උක් මැසිමට දිවි දී ඉවසනු බැරුව
තරසර සුනෙර පරපුර රැකගත් විරුව

ගිණිකන වැටුන ට්රැක්ටර් ඇස් මනමාල
මල දෙරනට උක් මල් සලනා සෙමර
සයංජාති බුල්ඩෝසර මකරකට
පිය පරපුරක උරුමෙට කෙළ ගිලින රඟ

මේ මිටියාවත පසුකර
දුර මුදු සුමුදු වැඩිය
ඉදිරියෙ ඇති නොපෙනන මඟ
රළු බොරළුය ඉතා දැඩිය
මෙතෙක් කලක් නුඹ මඟ
මුදු පාවඩ එළු නියාය
මුතු සේසත් කුඩ සැදේය
පැන් පිදෙනා ළිං තිබේය
විඩා නිවන මං බොහෝය

මඟ  පිය මනින අතර
නුඹ නොදුටුව දෙයක් වේය
නුඹේ පයට පෑගි ගිය
ලේ දහඩිය කඳුළු බෝය
මහ පොළවම රතට හැරිණ
එම රත පෝරට පෙරළිණ
පොහොණිව ගිය පොළව කැනිණ
පස මත බිජ ඉසිණ

හේඩා වූ ඉළුක් මාන
කැපී කෙටි එළිය වැටිණි
ගිනි තබලා බිම සැකසිණි
මායිම් වැටවල් නොබැඳුණි
වෙල්ලස්සක අහිමුව ඉඳ
පරපුරේ අස්වැන්න වැපිරූ
පරපුරකට නුඹ හිමිවිණි
දළුලන අංකුර හිනැහිණි

බුදුරුවගල කඳු පාමුල
වී කිරිලිගෙ කිචි බිචියයි
අස්වනු නෙළු ගිම්හානයේ
ගොළු මුහුදේ නැලවිල්ලයි

කවදාහරි දිනක් ඒවි
මිටියාවත මල් පිපේ වි
පල දරන්න පරපුරකට
ගෙඩි හැදෙන්න පරපුරකට

වෙල්ලස්සගෙ දියවර අර
සොරොව් කටට කීකරුකම

බිතක්කනේ බින්න බහින
මීයන් හට අවුරුදු එන

සිහිනයෙ බර කරටම අර             ගත්තු
වෙල්ලස්සෙන් සමුගෙන ගියෙ අලි ඇත්තූ
මුර ක්රමයට බත යදිනා ගොවි        පුත්තු
කඹුරන පෝලිමට බැණ බැණ පඩි   ගත්තු

කවා පොවා ඇති දැඩි කළ අප්පාට
ඔප්පු ලියා මායිම් ගැහුවේ කූමට
ළයේ හොවා ජීවය පෙව් අම්මාට
විනේ කටින උන් ඉපදුනේ මොන පවට

ලොග්ගල ඔය දියවර ලූණු රසය බලාපල්ලා
බුදුරුවගල වැටපැඳි මුව කථා අසාපල්ලා
උක් යන්තරයෙන් මිරිකෙන රසය අසාපල්ලා
අමතක කල අතීතයට වන්දි ගෙවාපල්ලා

-යෞවන සම්මාන - 1997- ප්‍රථම ස්ථානය-


උයන්පල්ලා කී කවිය

පිණිද වැටිණි මල්ද පිපුණි
ගෙන්දගම් බිමෙන් සපැමිණි
නෝනාවරුණි මහත්වරුණි

මල් පිපුණේ අපේ අතිනි
කරගැට මල් අතේ පිපිණි
හිතේ පිපුන මල් පරවිණි
අපට ඉතින් කඳුළු පමණි

සීත දැනුණි කවුළු වැසිණි
උණුසුම් කල රියේ පැමිණි
නෝනාවරුණි හත්වරුණි

පිපි මල් මත කඳුළු දිළුණි
නෑ බොල් පින්න නොවිණි
අපට උරුම කඳුළු පමණි
මල් පිපෙන්නේ කුමට සිතූණි

-හිරු-


කොළඹ ගිය කවි සගයාට

නිදන හපුතල් කන්ද නැගගෙන
කැන්දගෙන ආ විශ්ව පිරිවර
ශාස්ත්‍රේ, හ්‍යුගෝ, කැමූ, ගාර්ශියා
ගිණිමාරගස සෙවනෙ හමුවන

පිය තෙපුල් බිඳ දමා කොඳුරන
නමුණූකූල ගිර තරම් බර ගෙන
මොනවාහරි අපි කරමු දවසක
ලියූ කවිපද සිතෙන් පිරිමැද

අදත් නිතරම බලමි ඒ දෙස
දෙපා නවතින කල පුරුද්දට
අරාඹර ඇත ගිණිමාර ගස
තනිව ඔබ නැවතුනත් කොළඹම

කනට ඉහලින් ධවල කෙස් රොද
කවිකමට දී ඇතත් නිසි තැන
පීර පීරා සොයමි සැම දින
පිපුණු කවි මල් අතර ඔබ නම

-ඉරිදා දිවයින-



වෙල්ලස්සේ සොයුරන්ට

නොම ලෙළදෙන  කඳූළු උරන සිංහ කොඩිය
මලකඩ කෑ කග පත තූඩ ලවන   රසය
වැව් බැමි මත අඩකූඹු වු කරුණු කිමිද............?

රන්දෙනිවෙල මඩ කූඹුරට ජීවෙ දුන්න
අර බලන්න තිත්තයො පන ගැහෙන අයුර
මැණික් ග‍ගේ ශාන්තියට වහදිය මුසුකලේ මන්ද...........?

ට්රැක්ටර් ඇස් මහ දවාලේ රවා බලන
ධාතූ කරඬු උක් යන්තරයෙන් මිරිකෙන
ආනයනික මායිම් ගල් පඳුරු ගසත..............

පාළු ගෙදර පලා‍  පෙතිත් බිමට වැටෙන
බිතක්කනේ බිම පුරාම කඳුළු උරන
බුල්ඩෝසර සයංජාත උනේ ඇයිද...........?

දහඩිය ගඳ උරපු පොළොව සුසුම් හෙලන
මෙතන තමයි රන්දෙනිවෙල ලේ සලකූන
මායිම් ගල් යකඩ කූරු ඉරි තලන්න
එනු සොයුරනි කතරගමට පොල් ගහන්න...............

-ඉරිදා දිවයින-

තනිකම

 මේ වෙසෙඟත්
මයියංන සෑ වඳින්න
සොර බොර වැවේ
සුදු මහනෙල් මල් නෙලන්ට
මං විතරයි…………….

හැමදාමත්
මුරුංගා ගස් ගිනි තියන්ට
පනින අව්ව…………..
අද විතරක් කාස්ඨකයි
අළුත හදපු වැව ගොඩ වී
පතූල පෙනෙයි

හුන්නස්ගිරි
දහ අට වංගූවෙන් බැහලා
දුවිලි හොස හොස ගාගෙන
එක පිම්මට බදුළු දුවන
බස් එක දිහා බලන්නටත්
එපා හිතෙයි

මේ අවුරුද්දත් ඇවිදින්
මයෙ තනිකම බලන් නැතූව
මෙහෙම ගියොත්
අනේ න‍ගේ
මගේ පපුව පරඬල් වී
ගිනි ඇවිලෙයි...............

ජුකී මහන කොළොම්පුරේ
තරුව වගේ
නුඔ දිලිහෙනවා වෙන්නැති
මේ වෙසගෙත්
මයියංගන සෑ වඳින්ට
මං විතරයි

-නවලිය-
-නවලිය




රාවය- 1990


- ඉරිදා ලක්බිම

-ඉරිදා ලක්බිම


-ඉරිදා ලක්බිම

No comments: