Showing posts with label uva radio. Show all posts
Showing posts with label uva radio. Show all posts

Friday

දහසය වසරක් සපුරන ඌව ගුවන් විදුලියට සුබ පතමි


දහසය වසරක් සපුරන ඌව ගුවන් විදුලියට සුබ පතමි. ආඩම්බර  වෙමි. කුමන ආකාරයේ හෝ මාධ්‍ය මෙහෙවරක් දහසය වසරක් පුරා පැවතීම ආශ්චර්යයක් නොවුනත් ඌව ගුවන් විදුලිය වැනි ආයතනයක් මේ සා දුර පැමිණිම පිටුපස නම් ඇත්තේ මේ දක්වා මෙම සාර්ථකත්වයට උරදුන් සහ දැනටත් උරදෙමින් සිටින පිරිසකගේ වාසනාවට වඩා උත්සහය, කැපවීම, අධිෂ්ඨානය මෙන්ම ධෛර්යය ආදි ගුණාංගයන්ම බව සෘජුවම ප්‍රකාශ කල හැකිය.


     සැබවින්ම ඌවට ගුවන් විදුලියක් ලබා ගැනීමෙ අවශ්‍යතාවය ප්‍රායෝගිකවම ඇති වන්නේ වසර විස්සකට, විසි දෙකකට පෙර සිටය. ඒ මහැවැලි ප්‍රජා ගුවන් විදුලි විකාශයන්ට අමතරව ඌව පලාතේ ශ්‍රාවක අවශ්‍යතාවය හැකි පමණින් ඉටු කරමින් සිටි මහනුවර සේවා (දැන් කඳුරට සේවය)  විකාශයන් අක්‍රිය වීමෙන් පසුවය.  ඒ ඌව පලාත පමණක් නොව මධ්‍යම හා නැගෙනහිර පලාත්වල සමහර ප්‍රදේශයන්ද , දකුණු හා සබරගමු පලාතද  ආවරණය කරමින් පැවති කිලෝහර්ට්ස් 531 හා 648 ඔස්සේ අඹේවෙල සිට  ක්‍රියාත්මක වූ ජාතික ගුවන් විදුලි මධ්‍යම තරංග විකාශයන් නවතා දැමීම නිසාය. තරංග මාලාව හෝ විකාශනාගාරය ගැන අවබෝධය කෙසේ වුවද බදුල්ල, බණ්ඩාරවෙල, වැල්ලවාය, බිබිල ආදි ප්‍රදේශවල ශ්‍රාවකයන් උදෑසන පහට පිරිත් අසන්නට, ආගමික නිවේදන අසන්නට, මරණ දැන්වීම් හා ප්‍රවෘත්ති අසන්නට කරකවා ගත්තේ මේ මීටර දෙකය. බදුල්ලේ ඉපිද එහිම හැදී වැඩුනු මගේ ද  ජීවිතය හා  බැඳී තිබු විද්‍යුත් නාලිකාව වූයේ මෙම 531 හා 648 යන මීටර් දෙකය. අදාල අංකයන් කෙසේ වුවත් ගුවන් විදුලි මාධ්‍ය සමග බැඳුනු මා හා සමගාමිව ජීවත් වූ සියල්ල සඳහාම එය එසේ වූ බව මම දනිමි. පසු කලෙක ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් පසු මෙම විකාශනාගාරයේ සේවය කිරීමට අවස්ථාවක් ලැබුනු අතර එහිදි මගේ නිවසේ ගුවන් විදුලියෙන් ඇසෙන්නේ මාවිසින් විකාශය කරන පිරිත් බව මා හිතවතුන් සමග කී බවද මතකය.