Sunday

සැරදේ ගූගල් සැමදා....මගේ අත්දැකීම




අප නොදැනුවත්වම තත්පරයෙන් තත්පරය මානව ක්‍රියාකාරිත්වය නතුකරගනිමින්  සිටින්නේ යන්ත්‍ර විසිනි. මේ අනුව සියල්ලම පාරිභෝගිකරණය වන අතර ඒ සඳහා  මිලක් ද නියම වේ. කථන සිංහල බස ලිඛිත සිංහල භාෂවෙන් දැක්වීමට ගූගල් සමාගම විසින් විසින් නිපදවා ඇති මෘදුකාංග උපාංගය ද එවැන්නකි. ඒ පිළිබඳ සමාජය තුලද සමාජ ජාලයන් හී ද අර්ථවත් කතිකාවතක් ගොඩ නැගී ඇත. සැබවින්ම එය එසේ විය යුතුය. අවම වශයෙන් එමගින් තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගත් නව ධනවාදි ගෝලීය අර්ථ ක්‍රමය විසින් සීමා රහිතව මානව සමාජයට හා පුද්ගලිකත්වයට කරන බලපෑම පිලිබඳ අවබෝධයක් හෝ ඇතිකර ගත හැකිවේ.  නව ධනවාදි ගෝලීය අර්ථ ක්‍රමය තුල නිර්මාණය වී ඇත්තේ තරඟකාරි ව්‍යාපාරික හා සේවා ව්‍යවසායකයින්  ය. ව්‍යාපාරික තරගය ජය ගැනීම සඳහා එකිනෙකා පරයාලන දැනුමෙන් ධනයෙන් සහ උපක්‍රමශීලීත්වයෙන් පමණක් නොව ආකල්මය වශයෙන් පොහොසත් නව ධනවාදි ව්‍යාපාරික තරගකරුවන් බිහිව ඇත.  සෘජුව හා වක්‍රවද විවෘතව හා සංවෘතවද  කැමත්තෙන් හා අකැමැත්තෙන්ද අපද පිවිස ඇත්තේ  ඇත්තේ එම මාවතටම බැවින් කෙසේ හෝ අපද අනිවාර්ය තරඟකරුවෙකි. අපගේ මතෘකාවට අදාල තරගයේද ජයග්‍රාහකයා ද ගුගල් නම් තරඟකරුවාය.  එහෙත් කථන සිංහල බස ලිඛිත සිංහල භාෂවෙන් දක්වන මෘදුකාංග උපාංගය වැනි වානිජමය ජයග්‍රහනයක් කරනු හෝ අවම වශයෙන් ඉදිරිපත් විමක් අප වෙතින් සිදුනොවන්නේ ඇයි ? මෙහි දී අප සිටින්නේ කොතැනද ? සැලස්මක් හෝ සූදානම් වීමක් ඇත් ද ? තරඟකරුවන් හඳුනාගෙන හෝ ඇත්ද ? තරඟ කල යුතු බව අවබෝධ කරගෙන  ඇත් ද ? අවම වශයෙන් තරඟකරුවෙක් බව  හෝ හඳුනාගෙන ඇත්ද ?

මෙහි ඇත්තේ මානව හෝ භෞතික සම්පත් පිලිබඳ ගැටළුවක් නොවන බව පැහදිලි කර ගත යුතුය. අප රටේ විශ්වවිද්‍යාල පර්යේක්ෂණ ආයතන හෝ පශ්චාත් උපාධි ආයතන වලට ඒ සඳහා අවශ්‍ය සම්පත් සාපේකෂව ඇති බව ඒවා බාහිරව දකින අපගේ අදහස වේ. මන්ද යත් ඒ පිලිබඳව ඇති මුලාශ්‍ර අපද දැක ඇති බැවිනි. ඒ තුල අරක් ගෙන ඇති ප්‍රබල ඒකාධිකාරයන් අත් දැක ඇති බැවිනි. තවද එයින් පීඩාවට ද ලක් වී ඇති බැවිනි.  එසේ නම් එයට බලපා ඇත්තේ කුමක් විය හැකිද ?


කෙසේ වුවද මේ ආකාරයේ එනම් කථන සිංහල බස ලිඛිත සිංහල භාෂාව බවට පත් කල හැකි විද්‍යාත්මක ක්‍රම වේදයක් මා විසින් ඉදිරිපත් කරන ලද්දේ මෙයට දශකයකටත් පමණ පෙරදීය.  ඒ පශ්චාත් උපාධි නිබන්ධනක් වශයෙනි. ඉන්පසු විද්‍යත්මක පරීක්ෂණ පත්‍රිකාවක් ලෙස දෙස් විදෙස් පරීක්ෂණ සම්මන්ත්‍රණ, සැසිවාර විශාල ප්‍රමාණයක් නියෝජනය කල අතර සම්මත හා සම්ප්‍රදායික ඇගයීම්, සහතික, ප්‍රකාශන අයිතීන් සමග  එම සොයාගැනීම් ක්‍රමවේදය ඇතුලත් පරීක්ෂණ වාර්තා කොහේ හෝ තිබෙනවා හෝ නොතිබෙනවා විය හැකිය. මෙය මාගේ පර්යේක්ෂණ හා ගූගල් මෘදුකාංග උපාංගය හා සන්සන්දනය කිරීමක් හෝ එයට අභියෝග කිරීමක්  නොවේ. සමස්තයක් ලෙස මා ජීවත් වූ සමාජය හා අධ්‍යාපන ක්‍රමය  තුල මුල් බැස‍ගෙන  ඇති පසුගාමිත්වය, නිළධාරිවාදය, දේශපාලනය, හීනමානය, මිත්‍යාව, නූගත්කම ආදි ලෙසින් වන සෘනාත්මක ආකල්පයන් තුල සිර වී සිටිමින් මුහුණදුන් අත් දැකීම් සහිත ක්ෂණික, පුද්ගලික සටහනකි.



කථන හඳුනාගැනිම පිලිබඳ පරියේක්ෂණ පැවත්වීම පරිඝනක වාග් විද්‍යාත්ම ක්ෂේත්‍රයේ ලොව පුරා උද්යෝගිමත් අංගයක් ලෙස පසුගිය දශක දෙක තුන තුල පැවතුනි.  සංඛ්‍යාක තාක්ෂණයේ දියුණුව, නව මාධ්‍ය භාවිතය හා කෘතිම ඥානය පිලිබඳ ඇති වූ උනන්දුව මේ සඳහා නොඅඩුව උත්ප්‍රේරක සපයන ලදී.  එමගින් මානව ජීවන චර්යාය වඩාත් සුව පහසු කර ගැනීමට ලබාගෙන  ඇති උපකාර විශාල ප්‍රමාණයකි. එහෙත් වාග් විද්‍යාව එසේ නොවේ. එය පෙරදිග හා අපරදිග විද්වතුන් විසින් බොහෝ කාලයක්  ශාස්ත්‍රීය හා පරිශීලක වශයෙන් යොදාගනු ලබන්නකි. මානව හා සමාජවිද්‍යා ක්ෂේත්‍රයන්හි අවධානයට ලක් ව ඇති විෂයයකි. භාෂාව සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යනය කිරීමට සම්ප්‍රදායික වාග් විද්‍යා යොදාගනු ලැබුවත් සංඛ්‍යාක තාක්ෂණය සමග යෙදවීමෙන් යෙදවුම්, නිමවුම් බවට පත් කිරීමට හැකියාව ලැබේ.  පරිඝනක වාග් විද්‍යා පරීක්ෂණ බිහි වන්නේ ඒ අනුවය. එයිනුත් වඩාත් ජන ප්‍රියතම පරීක්ෂණ මාතෘකාව වූයේ අප මෙහි සඳහන් කථන හඳුනා ගැනීම ය.

අප විසින් මෙම කාර්යයේලා සිංහල භාෂව කෙරෙහි යොමු  වූයේ සුවිශෙෂි හේතුවක් නිසාය. භාෂාවක් සතු වන විවිධ ලක්ෂණ අතුරින් සිංහල භාෂාව සතුවන කැපීපෙනන ලක්ෂණය වනුයේ රූපය හා ශබ්දය අතර වන අනන්‍ය සම්බන්ධතාවයයි. එනම් සෑම රුපයකටම අනන්‍ය ශබ්දයක් ඇත යන්නය. වාග් විද්‍යාව අනුව ශබ්දිම හා  පදිම අතර ඇති සෘජු සම්බන්ධතාවයයි. අප පර්යේක්ෂනයේ මූලය වූයේ ද එයමය.

බහුල වශයෙන් ලොව පුරා පරිඝනක වාග් විද්‍යා පරීක්ෂන සිදුකරනුයේ සම්භාවිතා සංසිද්ධිය පදනම් කරගත් ක්‍රමවේදයකට අනුකූලවය.එහෙත් අපගේ අරමුණ වුයේ  සිංහල භාෂවේ වූ පෙර කී ශබ්දිම හා පදිම අතර සෘජසම්බන්දය මත පදනම් වූ කථන හඳුනා ගැනීම හා එමගින් කථන සිංහල, ලිඛිත සිංහල බවට පත් කිරීමේ ක්‍රමවේදයක් ගොඩ නැංවීමයි.

මෙම කාර්යයට යොමු වීමේදී විද්‍යුත් කේෂත්‍රයේ  වසර දොළහක පලපුරුද්දක්, පරිඝනක විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක්, සිංහල භාෂාව පිලිබඳ ප්‍රථම උපාධියක්, ව්‍යවාහාරික ගණිතය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යනයක්, වාග් විද්‍යාව පිළිබඳ  පශ්චාත් උපාධි අධ්‍යනයක්, පරිඝනක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යනයක් දේශිය හා විදේශිය වශයෙන් ලබා සිටි බව ප්‍රකාශ කල යුතුය. පරීක්ෂනයේ පළමු පියවර වූයේ සිංහල භාෂාවේ සියළුම ශබ්දිමයන් සඳහා සංඛ්‍යාකමය තත්වයට පත් කර ගැනීම යි. එය සාර්ථකව නිම කර ගැනීමට අපට හැකිවිය. ඉන්පසුව වූයේ ඒ ඒ ශබ්දිමය සඳහා අනණ්‍ය ගුනාංගයක් සොයාගැනීමයි. මේ සඳහා අප විදේශ විශ්වවිද්‍යලයක් වෙතින් ලබා ගත් දැනුම උපයෝගි කරගෙන මැට්ලැබ් මෘදුකාංගය භාවිතයෙන් අදාල ශබ්දිමයන් විශ්ලේෂනය කිරීම සිදුකරන ලදී. එහි අරමුණ වූයේ සිංහල බසෙහි ඇති සෑම ශබ්දිමයක් සඳහාම අගයක් සොයා ගැනීමයි. එයින්ද සාර්ථක ප්‍රතිපල අත්වූ අතර ඒ ඒ ශබ්දිම, සංකේත බවට පත් කර ගැනීමට ක්‍රමවේදයක් සොයා ගැනීමටද අනතුරුව  හැකි විය. ඉන්පසුව ගොඩ නැගූ දත්ත පදනම සහ ඇලගොරිදමය පර්යේක්ෂණ කාර්යයේ අවසන් පියවරයන් විය.

පර්යේක්ෂණයෙන් අනතුරුව එය පර්යේක්ෂණ පත්‍රිකාවක් වයෙන් එළි දැක්වුනි. ඒ සමගම ලැබුනු ආරාධනා අනුව එය විවිධ සම්මන්ත්‍රණ සැසි ආදියට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුනි. පැහැදිලි කිරීම් වලටද අවස්ථාව විවර විය. මේ ආකාරයෙන් ලැබුනු යෝජනා ප්‍රශංසා හා සහතික සැලකිය යුතු ප්‍රමාණයක් ද ලබා ගත හැකිවිය. එහෙත් ටික දිනකින් පසු පත්‍රිකාව පිලිගනු ලැබු විදෙස් සමුළු සඳහා  පමණක් නොව දේශීය සමුළු සඳහාද සාමාන්‍ය රජයේ සේවකයෙකු වශයෙන් කාලය,  නිවාඩු  සහ ගමන් ගාස්තු ආදිය සලකා ඉදිරිපත්කිරීමට නොහැකි බව හා පරීක්ෂණ පත්‍රිකාව පිළිගැනීමට ස්තුතිය විද්‍යුත් තැපෑලෙන් දන්වා යැවීමට සිදුවිය.

දකුණු ආසියානු භාෂා වෙනුවෙන් කලාපීය පරිඝනක වාග් විද්‍ය සමුළුව සහ පුහුණුව ලොව ප්‍රවීනතම පරිඝනක වාග් විද්‍යාඥයන්ගේ සහභාගිත්වයෙන්  නේපාලයේ කත්මන්ඩු විශ්වවිද්‍යාලයේ  පැවත් වීමට නිමිතව තිබුණේ මේ  අතර ය. සිංහල භාෂා නියෝජනය අපගේ  පර්යේක්ෂණය වූ අතර පර්යේක්ෂණ ක්‍රමවේදය වඩාත් නම්‍ය ශීලි කර නව තාක්ෂණ උපක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එය මහඟු අවස්ථාවක් විය. තවද ඒ සඳහා සහභාගි වීමට නියමිත විද්වතුන් ඒ බව විදයුත් තැපෑල මගින් දන්වා සිටි අතර සහභාගිත්ව ගාස්තුව ද නිදහස් කර තිබුනි.

ඒ අනුව ඒ සඳහා වන මෙහෙයුම පටන් ගතිමි. එම වැඩමුළුවේ කාලයේ දින විසි එකකි. නේවාසිකව සිටිය යුතුය. නවීනතම පරිඝනක පහසුකම් තිබිය යුතුය. ගුවන් ගමන් බලපත්‍රය ගත යුතුය. ලැබූ ඇගයිම් හා ප්‍රතිචාර මගින් පර්යේක්ෂණය පිලිබඳ මා ගොඩනගාගෙන තිබු තක්සේරුව අනුව ඒ සඳහා කිසියම් හෝ මූල්‍ය අනුග්‍රහයක් ලබා ගැනීමට අපහසුතාවයක් ඇති බවක් නොපෙනුනි. එබැවින්  වැඩසටහන සම්බන්ධවත් පරීක්ෂණය සම්බන්ධවත් ලිපියක් සකස් කොට විද්‍යා තාක්ෂණ, පර්යෙක්ෂණ, අධ්‍යාපන  ආදි වශයෙන් වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අරමුදල් වලට ඉදිරිපත් කිරීමට යෙදුනි. කිසිදු ආයතනයකින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනි. ඉන්පසුව දුරකථනය මගින් ඉල්ලීම ඉදිරිපත් කල අතර අදාල වැඩමුළුව පිලිබඳ පැහැදිලි කිරීමට හෝ ලැබුනේ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරිනියකට පමණි. තමනුත් මෙම ක්ෂේත්‍රයේ පර්යෙක්ෂණ වල නිරතව සිටින බැවින් මේ පිලිබඳව ඔවුන්ට කිරීමට දෙයක් නොමැති බව අවසානයේ ඇයද දැනුම් දුන්නාය.

මා මුහුණ දෙන තත්වය අදාල සමුළුවේ සම්බන්ධිකාරකවරයාට විද්‍යුත් තැපෑල මගින් දැනුම් දුන්නෙමි. දිනකට පසු ඒ සඳහා ප්‍රතිචාරය ලැබුණි. ඒ මෙම වැඩමුළුවට අනුග්‍රහය දක්වන ජර්මනියේ ඩෑඩ් ආයතනය විසින් මාගේ සහභාගිත්වය සඳහා ද පූර්ණ අනුග්‍රහය දක්වන්නට එකඟ වූ බවය. එයට  ගුවන් ගමන් බලපත්‍රය, නවාතැන් කෑම බීම පමණක් නොව යැපීම් දීමනාවක් ද ඇතුලත් වී තිබුණි.

මීලඟට  රැකියාවෙන් නිවාඩු ගත යුතුය. ඒ සඳහා ද පිළිගත් ක්‍රමවේදය අනුව ඉල්ලිමක් කරනු ලැබුවෙමි. ඒ සමගම මා වෙත ලැබුණු ප්‍රදානය පිලිබඳ සියළු විස්තරද ඇමුනුවෙමි. එම ලිපි ගොනුව සමග සතියක කාලයක් සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නි. අධක්ෂ ජෙනරාල් හරහා අමත්‍යංශ සහකාර ලේකම් දක්වාම පැමිණියෙමි. එහිදී කිසිදු ලිපියක් දෙස නොබැළූ සහකාර අධ්‍යක්ෂ, මා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන බැවින් හිමි නිවාඩු දමා
ඕනෑම දෙයක් කරගත හැකි බව දැනුම් දුන්නේය.

නේපාලයේ කත්මන්ඩු විශ්ව විද්‍යාලයෙන් සහ පැමිණි සිටි විද්වතුන්ගෙන් ලැබුනේ උණුසුම් පිලිගැනීමකි. අදාල විෂයය සම්බන්ධ  ඇ.එ.ජ යේ සහ ජර්මනියේ  මහාචාර්ය වරුන් හමුවේ සිංහල භාෂාව සංඛ්‍යාකකරනය කිරීමේ හැකියාවන් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට හැකි විය.  ආසියාව තුල සමාන්තර භාෂාවන් මේ සම්බන්ධයෙන් අත් කරගෙන ඇති ප්‍රගතිය හා වර්ථමාන තත්වය සහභාගි වූවන් විසින් පෙන්වා දෙන ලදී. ඔවුහු සියල්ලොම පාහේ අදාල රටවල එම පර්යේක්ෂණ වල නිල වශයෙන් නිරත වන්නෝ වූහ. දින විසි එක තුල විශාල වැඩකොටසක් කල යුතු විය. අධ්‍යයනය කරන විෂයය සම්බන්ධයෙන් ඇගයීමක් ද කිරීමට නිමිත වූ අතර ප්‍රායෝගික පරීක්ෂණයක්ද ඇතුලත් විය. මෙය සාර්ථකව අවසන් කිරිමෙන් පසු කත්මන්ඩු විශ්වවිද්‍යලයේ ඉංජිනේරු පීඨයේ පශ්චාත් උපාධි ආයතනය විසින් කාතිම ඥානය සහ ස්වයංක්‍රීය යාන්ත්‍රවිද්‍යාව විෂයයන් සඳහා අධ්‍යයන සම්මාන හයක් ද ප්‍රදානය කරනු ලැබුනි.

නේපාලයේ සිට පැමිණි විගස මා ඒ පිලිබඳව සවිස්තර අධ්‍යයන වාර්තාවක් සකස් කොට එවකට මා සේවය කරනු ලැබූ ආයතනයේ සහකාර අධ්‍යක්ෂවරයා වෙත ලබා දුන්නෙමි. එය ඒ මේ හරවා බැලූ ඔහු මෙය යැවීමට හෝ දීමට කිසිවෙක් නොමැති බැවින් අවශ්‍ය නම් මගේ පුද්ගලික ලිපි ගොනුවට දැමිය හැකි බව පැවසුවේය. එය මාගේ පුද්ගලික ලිපි ගොනුව තුල සුරක්ෂිතව ඇති බව මම පසුව තහවුරු කර ගතිමි. මවිසින් ඉගැන්වීමේ යෙදුන විෂයට අදාල හිඟ වැටුප් ලබාගැනීමට කම්කරු කාර්යාලයේ පැමිණල්ලක් දැමීමෙන් පසු විත්ති පාර්ශවයෙන් පැමිණි අධ්‍යක්ෂවරයා ගෙනවිත් තිබු මාගේ ලිපි ගොනුව තුල එම වාර්තාව මම දුටුවෙමි.

කෙසේ වුවද  නේපාලයේ සිට පැමිණි පසු කථන සිංහල බස ලිඛිත සිංහල බවට පත් කිරීමේ පර්යේක්ෂණ කාර්යය වඩා පෝෂනය වී තිබුනි. මේ සම්බන්ධව කටයුතු කරන අනෙකුත් සියලු රටවල පර්යේක්ෂන හා සම මට්ටමේ ම විය.  මේ වනවිට ජිනීවා නුවර මුලස්ථානය කරගත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් විශ්ව භාෂා ජාල කරන ව්‍යාපෘතිය ආරම්භ වී ක්‍රියාත්මක මට්ටමේ තිබුනි. එමගින් අන්තර්විශ්වීය (කෘතිම) භාෂාවක් නිර්මාණය කොට ලොව සෑම භාෂවවක් එමගින් ජාල ගත කිරීමේ දැවන්ත ව්‍යපෘතියක් නිර්මාණය කිරීම අරමුණ විය. මෙයට සම්බන්ධ වීමට නම් ලොව සෑම භාෂාවක්ම තම ස්වභාවික භාෂාව විශ්වීය භාෂාව බවටත් එම විශ්වීය භාෂාව නැවත ස්වභාවික භාෂාව බවටත් පත් කල හැකි සංඛ්‍යාකමය ව්‍යකරන පද්ධති ද්විත්වයක් නිපදවීම හා ස්වභාවික භාෂාව විශ්ව භාෂා ශබ්ද කෝෂයට ඇතුලත් කිරීම කල යුතු විය. ( උදාහරණ: සිංහල -විශ්ව භාෂාව , විශ්ව භාෂාව- සිංහල). මේ පිළිබඳ ආසියානු කලාපයේ භාෂා සඳහා වැඩමුළුවක් සහ පුහුණු සැසියක් මැකාවූ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සැලසුම් කර තිබු අතර සිංහල භාෂාව වෙනුවෙන් අප හට ද ආරාධනා ලැබුනි. මෙහි දී මුල්‍යමය ගැටළුවක් පැන නොනැගි අතර මැකාවූ දිවයිනේ සුඛෝපභෝගි හෝටලයක නවාතැන් සහ අනෙකුත් සියළුම පහසුකම් සඳහා අදාල ව්‍යාපෘතිය මගින් සපයා තිබුනි. මෙහිදී ද මතු වූයේ නිවාඩු අර්බුදය මය.  මෙම වැඩමුළුව මාගේ රාජකාරියට සෘජුවම අදාල නොවන බැවින් එය පැවත්වෙන සතියක කාලය තුල හැකිනම් කිසිවෙකුටත් නොදන්වා අසනීප නිවාඩු දමා සහභාගිවෙන මෙන් බලධාරීන් විසින් නොනිල වශයෙන් දන්වන ලදී.  මා මැකාවූ බලා ගියේ ඒ ආකාරයෙනි.

අපගේ පර්යේක්ෂණ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමට හා වෘත්තීයමය බවට පත් කිරීමට එම වැඩ මුළුව විසින් මග පෙන්වනු ලැබීය. වඩාත් වැදගත්ම දේ නම් එහිදී අවධාරනය වූ  විශ්වීය භාෂා ජාල කරන වැඩසටහනයි. ලෝකයේ ආර්ථික අතින් ගත් විට සෑම මට්ටමක පාහේ රටවල් එය විවිධාකාරයෙන් යොදා ගෙන ඇති ආකාරය දකින්නට ලැබුනි. එමගින් භාෂාව තව දුරටත් සංනිවේදන බාධකයක් නොවේ යන යතාර්ථය තහවුරු කලේය. අප රටේද අත්‍යවශ්‍යයෙන්ම ප්‍රමුඛතාවය දිය යුතු කරුණක්ව පවතින භාෂාවේ පැවත්ම සුරක්ෂිත කොට භාවිතයේ  දොරගුලු බිඳ දැමීමට දායක වීමට ලැබීම මා ඉතාමත් උද්දාමයට පත් කල යුතු බව කිවයුතුය. තවද වාසනාවකට මේ සඳහා ක්‍රියාත්මක වන පළමු ව්‍යාපෘතියට සිංහල භාෂාවද ඇතුලත් විය. එනම් ස්වභාවික භාෂා විශ්ව භාෂා ශබ්ද කෝෂයට එක් කිරීමේ කාර්ය භාරයයි. ඒ සඳහා දායක වන සම්පත් දායකයින්ට මූල්‍යමය ගෙවීමක් කිරීමටද සැලසුම් කර තිබු අතර මෙයට සහභාගී වීමට නම් මට්ටම් හයකින් සමන්විත වූ භාෂාව, පරිඝනක විද්‍යාව සහ උසස් ගණිතය යන විෂයයන්ට අදාලව  ඇගයීම් පරීක්ෂන  සමත් විය යුතුව තිබුනි. ඉන් අනතුරුව දායක වන සැම විටකම සැලකිය යුතු ගෙවීමක් කරනු ලබන අතර එමගින් එයි ඇති වටිනාකම අවධාරනය කරනු ලැබීය.  විශ්ව භාෂා ශබ්ද කෝෂය නිපද වීමේ කාර්යය සියයට අනුවකට වැඩි ප්‍රමානයකට දායකත්වය සැපයුයේ  ම විසින් බව මෙහිදි නිහතමානීව ප්‍රකාශ කරමි. තවද එමගින් එයට සාපේක්ෂ මුල්‍යමය ප්‍රතිලාභයක් ලැබීමටද මා හට හැකි විය.

මේ වනවිටත් විශ්ව භාෂා ජාල කරන ව්‍යාපෘතිය මගින් නිපදවන ලද පරිඝනක විද්‍යාව, ගණිතය සහ වාග් විද්‍යාව සංකලනයෙන් ස්වභාවික භාෂාව විශ්වීය බසටත් නැවත විශ්වීය බස ස්වභාවික බසටත් පත් කල හැකි පරිඝනක මෘදුකාංග පද්ධතියක් විය. එය යොදා ගැනීම සඳහා සෑම භාෂාවක්ම තම භාෂාවට අදාලව පරිඝනක ව්‍යාකරන පද්ධතියක් නිපදවා ගත යුතුය. එනම් පරිඝනකයට තේරුම් ගත හැකි පරිදි ස්වභාවික භාෂාවට සම්බන්ධ සියල්ල කේත කරනය කල යුතුය. සිංහල භාෂාව සඳහා පමණක් නොව සැබැවින්ම මෙය ඕනෑම ස්වභාවික භාෂාවක් සම්බන්ධව ඉතා සංකීර්න කටයුත්තකි. මේ නිසාම විශ්වීය භෂා ව්‍යාපෘතිය මගින් පරිඝනක ව්‍යාකරන පද්ධතියක් නිපදවීමේ ඔලිම්පියාඩ් තරගාවලියක් සංවිධානය කල අතර එහි තරඟ ඉසව් දෙකක් විය. ඒ  ස්වභාවික භාෂාව විශ්වීය භාෂාවට පත් කල හැකි පරිඝනක වාග් විද්‍යා ව්‍යාකරන පද්ධතිය නිර්මාණය සහ එම විශ්වීය භාෂාව නැවත ස්වභාවික භාෂාව බවට පත් කල හැකි පරිඝනක වාග් විද්‍ය ව්‍යකරන පද්ධතිය නිර්මාණය කිරීම ලෙසිනි. ඒ ඒ ඉසව්වේ ලොව හොඳම පරිඝනක වාග් විද්‍යා ව්‍යාකරන පද්ධතියට රන් පදක්කමද දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිලිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම්ද පිරිනැමෙනු ඇති බවට විශ්ව භාෂා ජාල කරන ව්‍යාපෘතිය නිවේදනය කරන ලදී.

එසේම තරගයට සහභාගි වීමට සුදුසකම් ලැබීමට පූර්ව පරිසාදන මට්ටමක්  වු අතර එය සමත් වීමෙන් අනතුරුව ඔලිම්පියාඩ් තරඟයට සහභාගි විය හැකිය. එසේම පරිසාදන මට්ටම ඉක්ම වු පසු විශ්ව භාෂා ජාල කරන ව්‍යාපෘතියේ පරිඝනක මාදුකාංග පද්ධතිය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවෙයි. එම මෘදුකාංග පද්ධතිය සතුව යෙදවුම් දෙකක් වේ.  නියමිත කේතයන්ට අනුකූලව ව්‍යාකරන පද්ධතිය නිපදවීමෙන් පසු අදාල පළමු යෙදවුම මගින් එය විශ්ව භාෂාව බවට පත් කරනු ලබන අතර දෙවන යෙදවුම මගින් එය නැතත් ස්වභාවික භාෂාව බවට පත් කරනු ලබයි.  මා හට අවශ්‍ය වුයේ  කෙසේ හෝ ඔලිම්පියාඩ් තරගයට ඉදිරිපත් වීමට පමණි. එමගින් ලැබෙන නැවුම් දැනුම සහ හුරුව අනාගත පර්යේක්ෂණ කාර්යයන්ට උපකාරි කරගැනීම  අපේක්ෂාව විය. ඒ අනුව සිංහල භාෂාව උදෙසා  ව්‍යාකරණ පද්ධතිය නිපද වීම ඇරඹුවෙමි. සිදත් සඟරාවේ සිට කෘතිම ඥානය දක්වා ව්‍යාකරණ සහ පරිඝනක විද්‍යා මුලාශ්‍ර පරිශීලනයෙන් පූර්ව පරිසාදන මට්ටමට ලඟා වීමට හැකි විය. ඉන්පසුව තිබුනේ ඔලිම්පියාඩ් පදක්කම් සඳහා තරඟ වැදීමයි. මෙම කාර්යයේදි මෙතක් සමාජයෙන් ලබා ඇති අත්දැකීම් සහ ප්‍රතිචාර මගින් උගත් පාඩම්,   පරීක්ෂණ හුරුව ට අමතරව සතු වූයේ අධිෂ්ඨානයත් ධෛර්යයත් පමණි. මෙවැනි කාර්යයක යෙදීම එදිනෙදා ක්ෂනිකව පැවරෙන සහ මාගේ  රාජකාරි ලැයිස්තුවට අයත් නොවන නිසා රැකියා කටයුතු වලට බාධාවක් නොවන පරිදි මගේ පුද්ගලික කටයුතු සඳහා වෙන් වූ කාලය මේ සඳහා කැප කෙරුවෙමි. කෙසේ වුවද නව නිර්මාණයක යෙදීමේ ආශ්වාදය ද සමග නියමිත දින මවිසින් නිර්මාණය කරන ලද සිංහල විශ්ව භාෂා, විශ්ව භාෂා-සිංහල  පරිඝනක වාග් විද්‍යා  ව්‍යාකරන පදධති ද්විත්වය තරඟයට ඉදිරිපත් කිරීමට හැකි විය.

කාලය ගත විය. ප්‍රතිපල නිකුත් වීමට නියමිත දින මා හටද විද්‍යුත් තෑපලෙන් පණිවිඩයක් ලැබුනි. එක්සත් ජාතීන්ගේ භාෂා ජාල කරන ව්‍යාපෘතියේ ඔලිම්පියාඩ් තරගයේ පදක්කමක් මා ජයග්‍රහනය කර ඇති බව එහි විය. මා විසින් ජයග්‍රහණය කොට ඇත්තේ විශිෂ්ටතම පරිඝනක වාග් විද්‍යා  ව්‍යාකරන පද්ධතියට හිමි රන් පදක්කමය. එපමණක් නොව ඉසව් දෙකේම ( සිංහල -විශ්ව භාෂාව , විශ්ව භාෂාව -සිංහල) රන් පදක්කම් ද්විත්වයම ම විසින් ජයග්‍රහණය කොට ඇති බව එහි සඳහන් විය. සෙසු ජයග්‍රාහකයන් අයත් රටවල් අතර ලොව විශාලතම තොරතුරු තාක්ෂණ සම්පත් දායකත්වයට හිමිකම් කියන ඉන්දියාව සහ බටහිර ජර්මනිය ද විය. මෙම පදක්කම් ද්විත්වය ශ්‍රී ලංකාව මෙම ක්ෂෙත්‍රයෙන් දිනා ඇති එකම හා ප්‍රථම රන් පදක්කම් වේ. තවද භාෂාවක් ලෙස සිංහල භාෂාවේ කාලීන බව ලොවට පසක් කල අවස්ථාවක්ද වේ.

ඉන්පසුව වූයේ ශ්‍රී ලංකාව තුල දි ලෝකය හා තරග වැදී ජයග්‍රහන ලද  බහුතරයකට අත් වු ඉරනම මය. මා මුල සිටම සිදුවූ සිදුවීම් මාලාවට නැවත වරක්  මුහුණ දීම ආරම්භ කෙරුවෙමි. එනම් තැපෑලෙන් රන් පදක්කම් දෙකට ලැබුනු සහතික පත්වල ඡායා පිටපත් දෙකක් සමග ඉතිරිව තිබුන නිවාඩු දමා ආයතන ප්‍රධානීන්, විද්‍යා තාක්ෂණ, පර්යෙක්ෂන, අධ්‍යාපන ආදි වශයෙන් වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරන්නන් හමු වීමට යාමයි. එහි දී "අදාල නෑ , කරන්න දෙයක් නෑ, යමක් කරන්න නිල වශයෙන් බැහැ.....᱿ යන වාචික ප්‍රතිචාර වලට අමතර කිසිදු යමක් නොලැබෙන බව පසක් විය. දේශපාලඥයන්ට ලිපි මගින් දැනුම් දුන්නෙමි. තිදෙනෙක් පමක් අගයකර සුභ පතා ඇමති ශීර්ෂ සහිත ලිපි එවා තිබුනි. සේවය කරනු ලැබූ ආයතනයේ ප්‍රධානියාද තම කාර්යාලයට කැඳවා ලිපියක් ලබා දෙන ලදී. රාජකාරියට අමතරව වෙනත් කාර්යයන් වල ද යෙදීම නිසා ම විසින් ඉගැන් වීමේ කටයුතු කරන ලද පරිඝණක විද්‍යාගාරය සහ එහි ඇති උපකරන වහාම භාර දෙන ලෙසටත් මගේ කොන්ත්‍රාත් කාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බවත් එහි සඳහන් විය.

විදේශ ගත වීමට පෙර සිංහල- විශ්ව භාෂාව , විශ්ව භාෂාව- සිංහල  ඔලිම්පියාඩ් රන් පදක්කම් දෙකට අදාල සහතික පත් දෙක පිටපත් කරගැනීමට මහනුවර නගරයේ  සුපුරුදු ඡායා පිටපත් ආයතනයට ගියවිට එම සහතිකවල  ඇති නුපුරුදු ස්වභාවය නිසා පිටපත් යන්ත්‍ර ක්‍රියාකරු ඒ පිලිබඳ මගෙන් විමසා සිටියේය. එම ඡායා පිටපත් ආයතනයේ හිමිකරුද වන ඔහුට එම සහතික ලැබුන ආකාරයත් ඒ සඳහා මා කරන ලද කාර්යයත්  පිළිබඳ සරලව පැහැදිලි කර දුන්නෙමි. ඉතා උනන්දුවෙන් ඒ පිලිබඳ අසා සිටි ඔහු  අවසානයේ , "නියමයිනේ එහෙම ‍එකක් තියෙනව නම්," කී ආකරය මට හොඳින් මතකය.

ඉහත කථන සිංහල බස ලිඛිත සිංහල භාෂවෙන් දක්වන ගූගල් යෙදවුම් මෘදුකාංගය පිලිබඳ උදම් අනන පිරිස අතර මා මෙන්ම ඔහුද සිටිනබව මා අද හොඳාකරවම දනිමි.

No comments: