කුන්දිරා දූපතේ දී

අප්පච්චිට දැනුන සුව



වන කතර වැලි කඳුවල සෙමින් හැපී
නැගෙන රළට උඩිනුත් පැන බිමත් වැටී
ගගන සරන ලිහිණින් වෙත සිනා සිසී
කිරි සුවඳක් අප්පච්චිගෙ හිතෙහි එතී.... 




කුමන වරුණ සඳ හාමිගෙ යසට නැගී
තෙමුන තරම රෑ පින්නට එදෙස එබී
ඇසෙන යවුල්හඬ අමතක කරනු රිසි
වෙන මොනවද අප්පච්චිට සුවඳ ඇතී......
 


ඇලුන ඇසි පියන් නාරින විටෙක කිසී
   සසර සරණ සිහිනයටත් ඉඩක් නැතී
      කොපුල් තෙමුනේ සිනාවටද සැකත් හිතේ
         මේ සුවඳම අප්පච්චිට නොවෙද පුතේ......?


-ඉරිදා ලක්බිම-

සුමනාවතීට අලි අක්බාර් ගෙන්................

අවාරේ ආ සුලං රැල්ලක්
මොකට ගැහුවද ගාළු වෙරලට....................
කී වරක් නම් රුවල් බෑවයි
ඉන්න නම්
තුන්හිතක වත් තිබුනෙ නෑ........... සුමනාවතී...............

තුන් මසක් එක දිගට
ඇල්ලුවා වාරකන
ගාළු වෙරලෙදි
සුලං අත බලාගෙන
කොයි තරම්
දුම් දමන කෝපි අපි බිව්වාද..........................?

අන්තිමට සුලං කඳ අහවරයි,
කුන්දිරා දූපතට යන දවසේ
ආයිත් ඇවිත් යන්නැයි,
උඹ කීවා
මට නිච්චි නෑ....... සුමනාවතී..............

වරක් දෙවරක් නෙවෙයි
විසිතුන් වතාවක්
ඔය කෝපි රස
ඇදලා දැම්මා රුවල
ගාළු වෙරලට
උඹට මතකද........ සුමනාවතී...........................?

දැං ඉතිං රුවල් නැව් කොහෙයි...................?
රිදී රල බලාගෙන
කුන්දිරා දූපතේ
නිදි කිරන විට
ගාළු වෙරලේ කෝපි රස
මට තාම දැනෙනවා..............................
ඒ දවස්වල වගේ
කියන්නට බැරි දෙයක්
උගුර හිර කරනවා.............................
උඹට මතකද
ඒ අලී අක්බාර්.................. සුමනාවතී.........?

-ඉරිදා දිවයින-

මතකයන් අතර අමතකය

තිතක් වී ක්‍ෂිතිජ ඉම
පෙරලෙන්න දිරි ලබා
ධවල සළු පිළි දරා
දෙදරවා සයුරු රළ
වෙරළ තෙක් ආවාට
දෙයක් නැත........................

ක්‍ෂුද්‍ර වූ
පෙන බුබුලූ රැසක් මිස......................

ඉඹුල් කිරිබත් අරන්
අම්මා එන දවසට....................
තාත්තගෙ පඩි දවසෙ
හිත නටන සවසට.....................
හීන් හීනෙන් පස්සෙ
පොඩි දූගෙ සිනා කට....................
විඩා නැති ඇගේ හඬ
බත් කමුද අහනකොට.....................

ලැබුන දේ කෙතරම් ද
දැනෙන දේ මනරම් ද
ජීවිතය නිති විඳිමි
මතකයෙන් ඈත් කර
පිය විප්පයෝගයෙහි
නිසැක දුක..........................

-ඉරිදා ලක්බිම-


රොබින්සන් කෲසෝලා සහ තනි තරුව 

 පාදගෙන බත් මුඛය
පුරුද්දට සිනාසෙමි
නාඳුනන දූපතේ
වැසියන්ට හිස නමමි...............

අස්වද්දන්න දූපත
තව ටික කලක්
හුදකලා කරන ලෙස
සහතික මිටිය පෙන්වා
ඉල්ලා සිටිමි.................

නැංගුරම්ලූ නැවකි
වෙරළ ඉම
එනු පිණිස ගෙවූ තරමටම
කුළිය දුන් විට
මව් බිමට යන......................

පා තබද්දිම නැවට
නැංගුරම වැටෙනවා හිතට

ණය ගෙවන්න බලා සිටින නෑසියෝය
පොලී ගන්න ඇඟිලි ගණින උරගයෝය
කෙළින් යන්න කථා කරන කකුළුවෝය
ගජසිහ සෙන් පාමුල අපි කුහුඹුවෝය

සතර අත බැලූ විට
රොබින්සන් කෲසෝලාමය
හිත හදාගෙන උඩ බලමි
අන්න ඒ තනි තරුව
තවම එතනම


-ඉරිදා ලක්බිම-


අනුභවය

පැමිණි දුක පැණි රසට වලඳමිණි
තැපෑලෙන් තව වරක් සැප එවමි

සැප ටිකක් බව සැබැයි
හිලව් කල දුක ගොඩට
මෙවර සැප එපමණයි

දෙනෙත් අග
ඔය කඳුළු පිසගන්න..............
හිර නොවී
බත් ගුලිය ගිල ගන්න...............
දුක් නොවිඳ
ඇවිල්ලා මෙහෙ ඉන්න.................
හැකිද ටික දවසකට
නොකියන්න.................

මේ නිසරු වැලි බිමයි
ඔය පොළව සශ්‍රීකයි
එහෙත් ඒ සරු පසේ
කටු පඳුරු හරි විසයි..................
ඔය හුස්ම සනීපයි
ගිනි හුස්ම හිත දවයි
එහෙත් ඒ සනීපෙම
හිතේ ලෙඩ ඇති කරයි.....................

මියෙන්නට පෙර දිනක
කූඩුවක සැපට ඉමු
එතෙක් මේ බුදින දුක පැණි රසයි..................
සරු පොළවෙ පය තබා
සනීපෙට හුස්ම ගමු
එතෙක් දුක වැලඳීම මගෙ සැපයි.....................

-ඉරිදා ලක්බිම-

No comments: