ප‍්‍රවේශය

නාට්‍ය හා රංගන කලාව පිළිබඳ මුල්ම ප‍්‍රවේශය වුනේ, එක්තරා අනපේක්ෂිත අවස්ථාවක දී ඔබේ රස ලැයිස්තුවේ පහළින් තිබූ නාට්‍ය රසය මුල් තැනට පැමිණීම. කොළු ගැටයෙක්ව සිටි කාලයේ මුල් බැසගත් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රභලම මාධ්‍යය වූ කවියත්, තරමක් පරිනත වු පසු ගීතයත්, කෙටිකථාවත් අභිබවා නාට්‍ය ඒ තැන ගන්නවා කියන්නේ භෞතික හා අධ්‍යාත්මික  ජීවිතයේ පැහැදිලි කඩඉමක් සලකුණු කිරීමක්. හරියට ඇවිදිමින් සිටින අතරතුර ඉගිලීමට අවස්ථාවක් ලැබුනා වගෙ, එහෙම නැත්නම් අහිමිකර තිබූ දෙයක් බලෙන් අත්පත් කරගත්තා වගේ, ජයග‍්‍රාහි හැගීමක්.

තරුණකමද වෙන මොකක්ද දන්නේ නැ.  කිහිප දෙනෙක් තැනකට එකතු වුනාම (ඒ තැන ගහක් යට, මහජන පුස්තකාලය, පදික වේදිකාව, වෙන්න පුළුවන්), කථා කලේ නාට්‍ය ගැන. නාට්‍ය ආශි‍්‍රතව ඇති වූ ප‍්‍රතිරූපයන් ගැන, හිමිවන්නාවු සිවිල් බලය ගැන, ඵලයන් වූ  ඉන්ද්‍රීය පීණනය ගැන ආදී ලෙස වූ අතට අහුවන්නා වූ නාට්‍ය සම්බන්ධ මෙකී නොකී වැල්වටාරම් ගොන්නක් මේ නාට්‍ය සංවාද තුල එතිලා තිබුනා. මේ කාලයේදි ඇති වු ප‍්‍රහර්ශනය, නාට්‍ය අභ්‍යාසය ජීවිතයේම කොටසක් බවට පෙරලන්නට සමත් වුනා. බෙරහඬ තුල ඔබත්, ඔබ තුල බෙරහඬත් නිදන් ගත වුනා. හිතින් මවා ගත් විවිධ නාට්‍යමය අවස්ථා තුල සරමින් අනුකූල රිද්මයනට ඔබේ හඬ, ශරීරය අනුනාද කරවන්නට නිදහසේ උත්සුක උනා. මේ උජ්ජවලිත්වයෙන්  ඔබට ගැලවෙන්න බැරි උනා. අන්තිමට තේරුම් ගියා, එකම රැලට එකතු වී සිටි අපට, නාට්‍ය උන වැලඳී ඇති බවට. උසස් අධ්‍යාපනය ලබන කාලයේදි ඔබ නාට්‍ය සංගමයට බැඳුනා. නාට්‍ය කාරයෙක් වුනා. නාට්‍ය වැඩමුළුවලට සහභාගි වුනා. නාට්‍ය කලා, සම්මාන ගත්තා.

එහෙත්, මෙම ප‍්‍රහර්ෂනය තුලින් අනුකාරක සමාජ යාන්ත‍්‍රනයකට බද්ධ කරනු විනා, හුදු පුද්ගල කේන්ද්‍රීය වර්ධන කි‍්‍රයාවලියක් ලෙස යොදාගැනීමට අපේ සමාජයේ විභවයක් තිබුනේ නෑ.  නාට්‍ය හා රංගකලාව කියන්නේ, හුදෙක් සම්මත වේදිකා දැක්මක් අභිපේ‍්‍රත ක‍්‍රියාවක් පමණද? මොකද, මේ මතය තුල ගිලී ගිය අත්විඳීම්  බොහෝමයක් ඔබ පෙළමින්  තිබුනා. ඔබ අතපතගාන වපසරිය තුල කෙසේ වුවත් නාට්‍යය යන්න විශ්වය තුලදී වේදිකා දැක්මකින් සම්මානයකින් නතරවන්නක් නොවෙයි. එම සීමාව අභිබවා නාට්‍ය හා රංගකලාව බොහෝ දුරක් ඉදිරියට ගොස් තියෙනවා. අවාසනාවකට අපට අපේ රට තුල දක්නට ලැබෙන්නේ නාට්‍ය රංග කලා වපසරියෙන් අල්ලකටත් වඩා කුඩා ප‍්‍රමාණයක්. විශේෂයෙන්ම දියුණු රටවල නාට්‍ය හා රංග කලාව මානව සංවර්ධන කාර්යයයේ ලා ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරන මෙවලමක් හැටියට, පෘථුල ලෙස යොදා ගන්නවා. කැනඩාව හා එංගලන්තය මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. මේ රටවල මේ කාර්යයේලා අධ්‍යයනයන් හා පර්යේක්ෂණයන් බහුලයි. වර්ථමානයේ සුලබවම මෙය යොමුව ඇත්තේ ළමුන් උදෙසා චිකිත්සක ක‍්‍රමවේදයක් ලෙස නාට්‍ය හා රංග කලාව යොදා ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳ විමසීමට. විශේෂයෙන්ම ලෝකය ගවේශනය කරන ළමුන්ට උත්පේ‍්‍රරකයක් ලෙස නාට්‍ය හා රංග කලාව ඍජුව හා ආශ‍්‍රිතව යොදාගැනීමට.

සැබවින්ම චිකිත්සක ක‍්‍රමවේදයක් ලෙස එහෙම නැත්නම් ප‍්‍රථිකාරක උපයෝගිතාවයක් ලෙස නාට්‍ය හා රංග කලාව යොදාගැනීම අපේ සංස්කෘතියට ආගන්තුක දෙයක් නම් නොවෙයි. පුදුම වෙන්න දෙයක් නෑ, අපේ රටේ බලි තොවිල්, ශාන්ති කර්ම, යාග ලෙස පැවතියේ මේ චිකිත්සක, එනම් මානසික හා භෞතිකමය ප‍්‍රතිකාරයන්. ඇදුරන් හා කට්ටඞීන් කලේ මේ චිකිත්සක කාර්යය. කෙසේ වුවත් කාලයාගේ ඇවෑමෙන් නිසි ශිල්පීය ක‍්‍රම අභාවයට යාමත්,  වෙනත් හේතූත් සමගම මේ උපයෝගිතාවය පිරිහීමට ලක්වුනා. එසේම ඒ තුල වු වටිනාකම් නිසියාකාරයෙන් සමාජය තුලට සංක‍්‍රමණය නොවීමත් මෙයට බලපෑවා. නවීන විද්‍යවේ දියුණුවත් සමගම, විශේෂයෙන් මනෝවිද්‍යාවේ නව ප‍්‍රවනතාවයනුත් සමග චිකිත්සක මාධ්‍යයක් ලෙස නාට්‍ය හා රංග කලාවේ උපයෝගිතාවය වඩාත් හොඳින් තහවුරු වෙනවා.

විශේෂයෙන්ම පාසල් තුල නාට්‍ය හා රංග කලාව ඉගැන්වීමේ අරමුණ විය යුත්තේ, ශිෂ්‍යයා අනාගතයේ ජනපි‍්‍රය නාට්‍යකරුවෙක් හෝ තරුවක් කිරීමටය, යන මිථ්‍යාවෙන් මිදීමට කාලය ඇවිත්. එසේම මෙම විෂයය ඉගැන්විය යුත්තේ ද්විතීයික අධ්‍යාපනයට පමණක් බවත්, එහි අඩංගු විය යුත්තේ ඍජු ලෙස නාට්‍ය සම්බන්ධිත කරුණ පමණක් බවත්, ආදී ලෙස වු නොපැහැදිලිකම් රාශියක් අපේ අධ්‍යපන ක‍්‍රමය තුල වෙනවා. නවීන මනෝවිද්‍යාවට  අනුකූලව සැබැවින්ම නාට්‍ය හා රංග කලා අධ්‍යාපනයට ළමයෙක් යොමු විය යුත්තේ කුඩා අවධියේ දීමයි.  ලොව පුරාම ඒ පිළිබඳ පවතින්නා වු ප‍්‍රවනතාවයන් හා මත වාදයන් දිනෙන් දිනම අළුත් වෙමින් පවතිනවා. මෙහිදී අපේ අරමුණ වන්නේ දරුවන් ජනප‍්‍රිය නාට්‍ය කරුවන් හෝ නළුවන්  කිරීමේ ”තරු” මිථ්‍යාව පසෙකලා, ළමුන් සඳහා වන චිකිත්සක මාධ්‍යයක් ලෙස නාට්‍ය හා රංග කලාව විද්‍යාත්මක ක‍්‍රමයට විග‍්‍රහ කිරීමයි. ඒ ඇසුරින් නාට්‍ය චිකිත්සක හා නාට්‍ය ගුරුවරයාත්, අදාල කාර්යභාරයත් හඳුනා ගැනීමයි.

No comments: